කිරිඳිවැල CK Cinema ඇතුළේ අවි ආයුධ ගබඩාවක් - Lanka News Click 24x7

කිරිඳිවැල CK Cinema ඇතුළේ අවි ආයුධ ගබඩාවක්

Share This
a-weapons-cache-inside-kirindiwela-ck-cinema

සාමාන්‍යයෙන් විනෝදාස්වාදය සපයන සිනමා ශාලාවක්, සංවිධානාත්මක අපරාධකරුවන්ගේ රහසිගත අවි ගබඩාවක් බවට පත්ව තිබූ අපූරු පුවතක් කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී, බිහිසුණු ගිනි අවි සහ විශාල පතරම් තොගයක් මෙන්ම අත්බෝම්බ ද සන්තකයේ තබාගෙන සිටි 38 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු CK Cinema නමැති එම සිනමාහලේ හිමිකරුවා ද වන අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සෘජු සබඳතා පවත්වන අයෙකු බවට පොලිසිය සඳහන් කරයි.




කිරිඳිවැල පොලිස් වසමේ පිහිටි මෙම සිනමා ශාලාව තුළ අවි ආයුධ තොගයක් සඟවා ඇති බවට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාට ලද රහසිගත තොරතුරක් මෙම සාර්ථක මෙහෙයුමට මුලපිරීය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් සිනමා ශාලාව වටලා සෝදිසි කර ඇති අතර, එහි පිටුපස කාමරයක් තුළ ගබඩා කර තිබූ මෙම ආයුධ තොගය සොයාගැනීමට සමත් වී ඇත.

පොලිස් භාරයට ගත් මෙම අවි ගබඩාවට විදෙස් රටවල නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක්, රිවොල්වර අවියක්, විදෙස් රටක නිෂ්පාදිත රිපීටර් අවියක් සහ විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ අවියක් අයත් වේ. ඊට අමතරව විවිධ වර්ගයේ විශාල පතරම් තොගයක් ද ඒ අතර වූ අතර, බෝර 12 පතරම් 398ක්, බෝර 16 ජීව පතරම් 35ක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව පතරම් 278ක්, පොයින්ට් 32 අවියට යොදන ජීව පතරම් 49ක් සහ පොයින්ට් 22 අවියට යොදන පතරම් 3083ක් එහි තිබී සොයාගෙන ඇත. ඊට අමතරව ජීව අත්බෝම්බ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.




සිනමාහලෙන් අනාවරණය වූ තොරතුරු මත, සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පදිංචි කිරිඳිවල මිල්ල තේ ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස ද පොලිස් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී ද අත්බෝම්බයක් සොයාගැනීමට විමර්ශකයින්ට හැකි වී තිබේ.

මෙම මෙහෙයුම කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුරවීර මහතාගේ උපදෙස් මත, සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර ඇත.



අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, මෙම අවි ආයුධ කලක සිට විවිධ පුද්ගලයන්ගෙන් තමන්ට ලැබුණු ඒවා බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මෙම ආයුධ ජාලයේ සැබෑ අරමුණ සහ අපරාධ කල්ලි සබඳතා පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.






a-weapons-cache-inside-kirindiwela-ck-cinema

No comments:

Post a Comment

Pages