
කුරුණෑගල දිස්ත්රික්කයේ ගල්ගමුව ප්රදේශයේ සැරිසැරූ, මෙරට ජීවත් වූ දැවැන්තම සහ දිගම දළ යුගලකට උරුමකම් කී ‘කාවන්තිස්ස’ ඇත් රජුගේ ඛේදනීය මරණය මුළු රටම කම්පනයට පත් කර ඇත. අඩි 11කට ආසන්න උසකින් යුත්, වයස අවුරුදු පනහක් පමණ වූ මේ මහා සද්දන්තයා අමානුෂික වෙඩි පහරකට ගොදුරු වී පසුගිය 16 වැනිදා සවස අවසන් සුසුම් හෙළීය.
එහෙත් එම කඳුළු කතාවේ හැරවුම් ලක්ෂ්යය සටහන් කරමින්, කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රාජ්ය නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය හා වනජීවී නිලධාරීන් සමත් වී තිබේ.වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්යාංශය පවසයි. පොලීසිය අනාවරණය කරන පරිදි, ඔහු ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකි. ඔහුගේ නිවසේ සඟවා තිබී බොර 12 වර්ගයේ ගිනි අවියක්, කැප් තුවක්කුවක් සහ උණ්ඩ 24ක් පොලිස් භාරයට ගෙන ඇත. විශේෂත්වය වන්නේ, මීට පෙර ‘ඩයනා’ නමින් හැඳින්වූ ඇතෙකුට ද මොහු විසින් වෙඩි තබා ඇති බවට තොරතුරු පොලීසියට වාර්තා වී තිබීමයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ අංශ මඟින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.
ජාතික සම්පතක් බඳු වූ කාවන්තිස්සගේ ඝාතනය හුදෙකලා සිදුවීමක් නොව, වන අලි සම්පත ඉලක්ක කරගත් සංවිධානාත්මක කුමන්ත්රණයක ප්රතිඵලයක් දැයි බරපතළ සැකයක් මේ වන විට මතුව තිබේ. ඒ අනුව, මෙරට වන අලි ඝාතනය කිරීම පිටුපස කිසියම් සැලසුම් සහගත ජාලයක් ක්රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පරිසර අමාත්යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 18 වැනිදා පොලිස්පතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර ඇත. වනජීවී සම්පත් විනාශ කරන මෙවැනි නීතිවිරෝධී ක්රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කිරීමට ඉදිරියටත් මෙහෙයුම් දියත් කරන බව අමාත්යාංශය අවධාරණය කරයි.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් ‘කාවන්තිස්ස’ යන නාමය තබනු ලැබූ මේ හස්තියා, දශක පහකට ආසන්න කාලයක් වයඹ කලාපයේ ගල්ගමුව, සියඹලන්ගමුව, නාන්නේරිය, ඔරුගල, කුඩාගල්විහාරය සහ මීගලෑව යන ප්රදේශවල සැරිසැරුවේය. වයඹ වනජීවී කලාපය තුළ සිටින සමස්ත අලි ගහනයෙන් දළ ඇතුන් සිටින්නේ සියයට දෙකකටත් අඩු ප්රතිශතයකි. ඒ අල්ප වූ සද්දන්තයන් අතරින් කාවන්තිස්ස සුවිශේෂී වූයේ කිසිදු ඇතෙකුට සම කළ නොහැකි උගේ ප්රතාපවත් පෙනුම නිසාවෙනි.
මාස තුනකට පමණ පෙර ගිනි අවියකට ගොදුරු වී යම් ආබාධයකට ලක්ව අසීරුවෙන් ගමන් කරන කාවන්තිස්සගේ දසුන් සමාජ මාධ්ය හරහා සංසරණය වීමත් සමඟ මුළු රටේම අවධානය ඒ වෙත යොමු විය. කාවන්තිස්සට වෙඩි වැදී ඇති බව වනජීවී අංශ වෙත වාර්තා වන්නේ සැප්තැම්බර් 23 වැනිදාය. වයඹ වනජීවී කලාපයේ පශු වෛද්ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුළු කණ්ඩායමක් සැප්තැම්බර් 24 වැනිදා මහගල්මුව රක්ෂිතයේ ඇතා සෙවූවද, හස්තියා සොයාගැනීමට හැකි වන්නේ 25 වැනිදා සියඹලන්ගමුව ජලාශ රක්ෂිතය තුළදීය. එදින සිට දින පහක් පුරා ප්රතිකාර කිරීමෙන් පසු, ඇතා එකවරම අතුරුදන් වූ අතර දින තුනකට පමණ පසු යළි හමුවන්නේ තඹුත්තේගම ආසන්නයේ කලංකුට්ටිය ඇළේ බැස සිටියදීය.
එම ප්රදේශය අනුරාධපුර වනජීවී කලාපයට අයත් වූ බැවින් ඉන්පසුව අනුරාධපුර පශු වෛද්ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම ප්රතිකාර කටයුතු භාර ගත්හ. හස්තියා නොකඩවා ඇළේ රැඳී සිටීම රෝගී තත්ත්වය නිසි ලෙස නිරීක්ෂණයට දැඩි බාධාවක් විය. එහිදී ක්රමයෙන් පාචන තත්ත්වයක් වර්ධනය වෙමින්, දියර ලෙස මලපහ වීමත් සමඟ කාවන්තිස්සගේ සිරුර දැඩි ලෙස දුර්වල වන්නට විය. අවසානයේ යළිත් ගල්ගමුවට පැමිණි ඇතා, වළගම්බා ග්රාම නිලධාරි වසමේ යුනිට් 4 ඇළ ආසන්න වෙල්යායක අසාධ්ය තත්ත්වයෙන් ඇද වැටුණි.
මේ මොහොතේ පරිසර ඇමැති වෛද්ය දම්මික පටබැඳිගේ මහතාගේ සෘජු අධීක්ෂණය මත පශු වෛද්ය කණ්ඩායම් යොමු කළ අතර, අවශ්ය නම් විදෙස් වෛද්යවරුන් පවා මෙරටට රැගෙන ඒමට අමාත්යාංශය සූදානමින් සිටියේය. ප්රකට ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ද විදෙස් වෛද්යවරුන් ගෙන්වීමේ සියලු වියදම් දැරීමට සමාජ මාධ්ය ඔස්සේ ඉදිරිපත් විය. පවතින මහ වැසි මැද පවා වෛද්යවරුන් හා ආරක්ෂක අංශ හස්තියා බේරාගැනීමට අප්රමාණ වෙහෙසක් ගත්හ.
එහෙත් එම සියලු උත්සාහයන් නිශ්ඵල කරමින් කාවන්තිස්ස සදහටම දෙනෙත් පියා ගත්තේය. හස්තියාගේ මරණයත් සමඟ ප්රතිකාර කළ වනජීවී පශු වෛද්යවරුන්ට සමාජ මාධ්ය ඔස්සේ දැඩි චෝදනා එල්ල වන්නට විය. කෙසේ වෙතත්, ශ්රී ලංකා පශු වෛද්ය සංගමයේ සභාපති වෛද්ය සුගත් ප්රේමචන්ද්ර මහතා එම චෝදනා තරයේ ප්රතික්ෂේප කරයි. ඔහු පෙන්වා දෙන්නේ, පශු වෛද්ය ඉසුරු සහ පුබුදු යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්, වනජීවී පශු වෛද්යවරුන් 17 දෙනෙකු, සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ වෛද්යවරුන් සහ පේරාදෙණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අවම පහසුකම් යටතේ කැලෑබදව මෙම සතාට ප්රතිකාර කළ බවයි. ලෝකයේ ඇති උසස්ම තාක්ෂණය භාවිත කරමින් සතා සාර්ථකව යථා තත්ත්වයට පත්වෙමින් සිටියදී ඇති වූ පාචන තත්ත්වය මෙම මරණයට හේතු වූ බව පවසන ඒ මහතා, පසුගිය වසරේ පමණක් වන අලි 300කට ආසන්න ප්රමාණයක් සුවපත් කළ වනජීවී වෛද්යවරුන් සාවද්ය තොරතුරු මත අපහසුතාවයට පත් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, කාවන්තිස්ස ඇතාට ප්රතිකාර කිරීමේදී කිසියම් අත්වැරැද්දක් සිදුවීද, නැතහොත් සතාට හානි කිරීමට දැනුවත්ව කිසියම් දෙයක් සිදුවීද යන්න සෙවීම සඳහා ස්වාධීන විමර්ශන කණ්ඩායමක් යොදවන බව පරිසර ඇමැති දම්මික පටබැඳි මහතා නිවේදනය කළේය. වෙන කිසිදු හස්තියකුට මැදිහත් නොවුණු තරම් උපරිම අයුරින් වෛද්ය මණ්ඩලය මෙහිදී කටයුතු කර ඇති බව තමා විශ්වාස කරන බව පැවසූ අමාත්යවරයා, හස්තියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම ගැන ශෝකය පළ කළේය. ඉදිරියේදී සතුන්ට ප්රතිකාර කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් දියුණු කිරීමට පියවර ගන්නා බවද හෙතෙම අවධාරණය කළේය.
මියගිය කාවන්තිස්සගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨය විසින් සිදු කර සිරුරේ කොටස් රැගෙන ගොස් ඇති අතර, අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වැඩබලන මහේස්ත්රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. ඇතාගේ හිස කොටස මීගලෑව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. වීරකෝන් මහතාගේ මාර්ගයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක භූමදානය කිරීමට නියම කර ඇති අතර, මෙම මරණය සම්බන්ධ නඩුව ගල්ගමුව ප්රධාන මහේස්ත්රාත් රවින්ද්ර රංජන් බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.
දශක හතරකට ආසන්න කාලයක් පුරා ඇදෙන විසඳුම් නොමැති අලි-මිනිස් ගැටුමේ තවත් අවාසනාවන්ත ගොදුරක් බවට කාවන්තිස්ස පත්වී හමාරය. වන අලින්ට එරෙහිව යෙදෙන ගිනි අවි, හක්කපටස් හා මදු හේතුවෙන් මේ මහා සම්පත දිනෙන් දින වැනසී යමින් පවතී. අලි ඇතුන් මෙන්ම මිනිස් ජීවිත ද සුරක්ෂිත වන පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ දක්වා වූ නිලධාරීන් හා පොදු සමාජය අවංක වුවමනාවකින් යුතුව කටයුතු නොකළහොත්, අනාගතයේදී කාවන්තිස්සලා වැනි ප්රතාපවත් සද්දන්තයින් ශ්රී ලාංකේය භූමිය මත දැකගැනීම යථාර්ථයක් නොවනු ඇත.
No comments:
Post a Comment