කොළඹ විහාරමහාදේවි උද්යානය තුළදී පය ලිස්සා වැටීමෙන් රෝහල්ගත කළ බලංගොඩ කස්සප හිමියන්ගේ සිදුවීම පදනම් කරගනිමින් මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ මහජනතාව නොසන්සුන් කරන අන්දමේ අසත්ය ප්රචාරයන් රැසක් සංසරණය වෙමින් පවතින බව ශ්රී ලංකා පොලීසිය පවසයි.
පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, උද්යානය තුළදී පය ලිස්සා යාමෙන් අනතුරුව කස්සප හිමියන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි. කෙසේ වෙතත්, එහිදී අවශ්ය ප්රතිකාර ලබාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ මේ වන විටත් රෝහලෙන් පිටව ගොස් ඇති බව හෙතෙම තහවුරු කළේය.
හුදු අනතුරක් පමණක් වූ මෙම සිදුවීමට වෙනත් මුහුණුවරක් ලබාදෙමින්, මෙය යම්කිසි පහරදීමක් බවට ඇතැම් පිරිස් හිතාමතාම සමාජ මාධ්ය හරහා මහජනතාව කුපිත කරවන සුළු අසත්ය තොරතුරු ප්රචාරය කරමින් සිටින බව පොලීසියට නිරීක්ෂණය වී තිබේ. එහෙත්, මෙම සිද්ධියට අදාළව කිසිදු ආකාරයක පහරදීමක් මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා තරයේ අවධාරණය කළේය.
සිද්ධිය පිළිබඳව නිල වශයෙන් කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරීවරයා මෙසේද ප්රකාශ කළේය. "විහාරමහාදේවී උද්යානය තුළදී පය ලිස්සා වැටීමෙන් බලංගොඩ කාශ්යප හාමුදුරුවෝ ජාතික රෝහලට ඇතුළත් කරලා තියෙනවා. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්රතිකාර ලබා ගෙන මේ වන විට රෝහලෙන් පිටත් වෙලා තියෙනවා. මෙම සිදුවීම පදනම් කරගනිමින් ඇතැම් පිරිස් විශේෂයෙන්ම සමාජ මාධ්ය ඔස්සේ මහජනයා කුපිත කරන ඒ වගේම නොසන්සුන්තාවයක් ඇති කරමින් අසත්ය තොරතුරු ප්රචාරය වන බවට අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මේ වන විට කිසිඳු පහරදීමක් සම්බන්ධයෙන් වාර්තා වෙලා නෑ."
ඒ අනුව, සැබෑ සිදුවීම විකෘති කරමින් මෙවැනි අසත්ය ප්රචාර සමාජගත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බව ශ්රී ලංකා පොලීසිය වැඩිදුරටත් අනතුරු අඟවයි.
No comments:
Post a Comment