මෙරට වනාන්තර තුළ සැරිසැරූ දැවැන්තම මෙන්ම සුවිසල්ම දළ යුගලකට හිමිකම් කී 'කාවන්තිස්ස' හස්තියාගේ ජීවන ගමන ඊයේ (16) රාත්රියේ සදහටම නිමාවට පත් විය. ශ්රී ලංකාවේ ජීවත් වූ විශාලතම සහ උසින් වැඩිම වන අලියා ලෙස ප්රකටව සිටි මෙම සද්දන්තයාගේ නිහඬ වීම, හුදු වනජීවී ඛේදවාචකයක් පමණක් නොව මෙරට වන අලි සංරක්ෂණය පිළිබඳ බරපතළ ප්රශ්නාර්ථයක් ද සමාජය හමුවේ මතු කර තිබේ.
ගල්ගමුව, සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් කුඹුරු යායක ඇදවැටී සිටියදී පසුගියදා සොයාගැනුණු කාවන්තිස්ස ඇතාගේ ඉදිරිපස දකුණු පාදයේ බරපතළ තුවාලයක් දක්නට ලැබිණි. එය වෙඩි වැදීමකින් සිදු වූවක් බවට අනුමාන කෙරෙන අතර, වනජීවී නිලධාරීන් සහ යුද හමුදාව එක්වී ඇතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් පසුගිය දින කිහිපය පුරා දැඩි පරිශ්රමයක නිරත විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්ය කණ්ඩායම් පැය 24 පුරාම ප්රතිකාර ලබා දුන් අතර, ප්රතිකාර හමුවේ පාදයේ තුවාලය සුව අතට හැරෙමින් පැවතුණි. එහෙත්, ආහාර ගැනීම අඩුවීම හේතුවෙන් ඇතාගේ තත්ත්වය යළිත් බරපතළ වී අවසානයේදී ඊයේ පස්වරුවේ මෙම ඛේදනීය ඉරණමට මුහුණ පෑමට හස්තියාට සිදුවිය. ඇතාගේ ප්රතිකාර කටයුතු සඳහා අවශ්ය වුවහොත් විදේශීය වෛද්ය කණ්ඩායමක සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්යාංශය ඊයේ ප්රකාශ කර තිබූ පසුබිමක මෙම මරණය වාර්තා වීම ද විශේෂත්වයකි.
කාවන්තිස්ස ඇතාගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පියවර ගෙන තිබේ. ඒ සඳහා අද (17) පෙරවරුවේ අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ අධිකරණ නියෝගය ලබාගැනීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්යාලයේ නිලධාරීන් ද ඇතුළත් විශේෂඥ කණ්ඩායමක් මගින් ඇතාගේ සිරුර පරීක්ෂා කර මරණයට හේතු වූ කරුණු විද්යාත්මකව තහවුරු කරගැනීමට නියමිතය.
මේ අතර, මෙම දැවැන්තයාගේ අකල් මරණය සම්බන්ධයෙන් පරිසරවේදීන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් සහ චෝදනා එල්ල වෙමින් පවතී. හස්තියාට නිසි ලෙස ප්රතිකාර නොලැබුණු බවට පරිසරවේදීන් චෝදනා කරන අතර, පරිසරවේදී නයනක රන්වැල්ල අවධාරණය කරන්නේ කාවන්තිස්ස හස්තියා මියයාම සම්බන්ධයෙන් ස්වාධීන මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි. එසේම, මෙම ඇත් රජුට වෙඩිතැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ද කඩිනම් විමර්ශනයක් සිදුකළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
තත්ත්වය තවත් උණුසුම් කරමින් 'රට රකින පරපුර' සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර ඇත්තේ, වත්මන් පාලනය බලයට පැමිණි දා සිට වන අලි සිය ගණනකගේ ජීවිත අහිමි වී ඇති බවයි. වසර දෙකක දේශපාලන ජයග්රහණ සමරන පාලකයන්ට මෙරට වන අලින්ගේ ජීවිත සුරැකීම වෙනුවෙන් කළ හැකි වූයේ කුමක්දැයි ප්රශ්න කරන එම සංවිධානය, කාවන්තිස්සගේ මරණය හුදු වන අලියෙකුගේ මරණයක් පමණක් නොවන බවත් එය වනස්පතියේ රජ කළ ආකර්ෂණීයම ඇත් රජුගේ නික්ම යාම බවත් සිහිපත් කරයි. මෙය වනජීවී සංරක්ෂණයේ වගකීම් නිසි පරිදි ඉටු වන්නේද යන්න පිළිබඳ සමස්ත පාලන පද්ධතියටම එල්ල වන බරපතළ අභියෝගයක් බව පෙන්වා දෙන ඔවුන්, මෙම මරණයේ වගකීම භාරගෙන වනජීවී අමාත්යවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් වහාම ඉල්ලා අස්විය යුතු බවට දැඩිව බලකර සිටී.
දේශපාලන ජයග්රහණ සැමරීමට පෙර රැකගත නොහැකි වූ වනජීවී ජීවිත වෙනුවෙන් බලධාරීන් වගකීම භාරගත යුතු බවත්, වන අලි ජීවිතවලට යුක්තිය ඉටු වන තෙක් තමන්ගේ හඬ නිහඬ නොකරන බවත් අදාළ සංවිධානය සිය නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කර ඇත. කාවන්තිස්සගේ නිසල සිරුර සියඹලන්ගමුවේ කුඹුරු යායක වැතිරී තිබියදී, මේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරි නීතිමය ක්රියාමාර්ග දෙස මුළු රටම දැන් අවධානයෙන් බලා සිටී.
No comments:
Post a Comment