ඩුබායි හි වෛද්‍යවරුන්, රෝහල්, පෞද්ගලික සායන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් (influencers) සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනයේදී අනුගමනය කළ යුතු දැඩි නීතිරීති මාලාවක් ඩුබායි සෞඛ්‍ය අධිකාරිය (DHA) විසින් නිකුත් කර තිබේ. අතිශයෝක්ති වචන සහ අසත්‍ය ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම මෙමගින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක්, ටික්ටොක්, යූටියුබ්, ස්නැප්චැට්, වට්ස්ඇප් සහ ලින්ක්ඩ්ඉන් වැනි සමාජ මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කෙරෙන වෙළඳ දැන්වීම් සඳහා මෙම රෙගුලාසි බලපැවැත්වේ. සෞඛ්‍ය ආයතනයක නම සඳහන් කරමින් හෝ එය හඳුනාගත හැකි පරිදි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් කරනු ලබන සෑම සටහනක් සඳහාම අදාළ ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ. පෞද්ගලික දුරකථනයකින් රූපගත කළද හෝ පෞද්ගලික ගිණුමකින් පළ කළද, අදාළ පරිශ්‍රය තුළ සිදුවන ප්‍රචාරණ අන්තර්ගතයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය ආයතනය වගකීමට බැඳී සිටී.
ඩුබායි හි මෙන්ම වෙනත් රටවලද වෘත්තීයවේදීන් ලෙස සේවය කරන වෛද්‍යවරුන් ඩුබායි සෞඛ්‍ය සේවාවන්ට අදාළව වෙනමම සමාජ මාධ්‍ය ගිණුමක් පවත්වාගෙන යා යුතු අතර, වෙනත් රටවලදී ප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ තොරතුරු හෝ පින්තූර ඇතුළත් කරන්නේ නම් ඒවාද මෙම නව නීතිරීතිවලට අනුකූල විය යුතුය.
සමාජ මාධ්‍ය වෙළඳ දැන්වීම් සඳහා "හාස්කම් සහිත", "මායාකාරී", "අද්විතීය", "විශිෂ්ටතම", "විශේෂිත", "වඩාත්ම ආරක්ෂිත", "අසමාන", "නොපූර්ව", "සියයට 100ක්", "සම්පූර්ණයෙන්ම ස්ථිර", "සහතික කළ සාර්ථකත්වය", "අතුරු ආබාධ නොමැති", "මුදල් ආපසු ගෙවන", "ප්‍රසිද්ධ", "පුරෝගාමී" සහ "ක්ෂණික ප්‍රතිඵල" වැනි අතිශයෝක්ති සහගත වචන භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එමෙන්ම වෙනත් වෛද්‍යවරුන්ට, සෞඛ්‍ය ආයතනවලට හෝ රාජ්‍ය ආයතනවලට එරෙහිව පදනම් විරහිත හෝ සෘණාත්මක ප්‍රකාශ සිදු කිරීමද මෙහිදී තහනම් වේ.
සෞඛ්‍ය ආයතන සහ වෘත්තිකයන් තමන්ගේ ඩුබායි සෞඛ්‍ය අධිකාරී බලපත්‍රයේ සඳහන් නොවන "සෞන්දර්ය විශේෂඥ", "සෞන්දර්ය උපදේශක", "කොස්මෙටොලොජිස්ට්", "වයස්ගත වීම වැළැක්වීමේ විශේෂඥ" හෝ "රූපලාවන්‍ය විශේෂඥ" වැනි විවිධ ව්‍යාජ නාමයන් භාවිත කිරීමෙන් වැළකිය යුතුය. තවද "ආචාර්ය" (Dr) යන පූර්ව නාමය භාවිත කළ හැක්කේ වෛද්‍යවරුන්ට, දන්ත වෛද්‍යවරුන්ට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිළිගත් පීඑච්ඩී (PhD) උපාධිධාරීන්ට පමණක් වන අතර අදාළ උපාධි සහතික අමාත්‍යාංශය මගින් සහතික කර තිබීම අනිවාර්ය වේ.
සෞඛ්‍ය ආයතනයක් හඳුන්වන සෑම සමාජ මාධ්‍ය සටහනක්ම එම ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා විසින් පූර්ව අනුමැතිය ලබා දිය යුතු අතර, කාර්ය මණ්ඩලය පුහුණු කිරීම, ගිණුම් පාලනය සඳහා පුද්ගලයෙකු පත් කිරීම සහ ඕනෑම මොහොතක සිදුවන පරීක්ෂාවන් සඳහා සියලුම සටහන් සුරක්ෂිතව තබාගැනීමද ඔහුගේ වගකීමකි. ලිඛිත අනුමැතියකින් තොරව ඩුබායි සෞඛ්‍ය අධිකාරියේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක ලාංඡනයක් හෝ නමක් භාවිත කිරීම තහනම් වන අතර, ඩුබායිහි සායනවලදී ප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ තොරතුරු ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ගිණුම්වල ප්‍රචාරය කිරීමද වැළැක්වේ.
දැන්වීම් සඳහා රෝගියෙකුගේ ඡායාරූපයක්, වීඩියෝවක් හෝ ප්‍රකාශයක් භාවිත කිරීමට පෙර ලිඛිත අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වන අතර, වයස අවුරුදු 18ට අඩු රෝගීන් සඳහා දෙමාපියන්ගේ ලිඛිත අනුමැතිය ලබාගත යුතුය. ප්‍රතිකාරයට පෙර සහ පසු ඡායාරූප (Before and after) එකම පුද්ගලයාගේ විය යුතු අතර, එකම කාචයක් භාවිත කර කිසිදු සංස්කරණයකින් තොරව ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි බවට විශේෂ සටහනක්ද එහි ඇතුළත් විය යුතුය.
ශල්‍යාගාර හෝ සුළු හා සංකීර්ණ සැත්කම් සිදුවන පරිශ්‍රයන් තුළදී හෝ රෝගීන් සිහිනැති කර ඇති අවස්ථාවලදී ප්‍රචාරණ කටයුතු සඳහා වීඩියෝ ගත කිරීම් හෝ සජීවී විකාශනයන් සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අසත්‍ය බලාපොරොත්තු ඇති කිරීම, භයගන්වා ප්‍රතිකාර ලබාදීමට පෙළඹවීම, රෝගීන්ගේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගැනීම, තරඟකාරී වෛද්‍යවරුන්ට වඩා තමන් උසස් යැයි පැවසීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංස්කෘතියට හෝ ඉස්ලාමීය අගයන්ට පටහැණි අන්තර්ගතයන් ප්‍රචාරය කිරීමද වැළැක්වේ.
මෙම පියවර 2022-2026 උපායමාර්ගික සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන අතර, ඩුබායි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සහ අයෝග්‍ය ප්‍රචාරණයන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණයි. මෙම නීතිරීති කඩකිරීමේදී සිදුවිය හැකි දඬුවම් පිළිබඳව සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමටත්, ඒ සම්බන්ධයෙන් පුහුණු වැඩසටහන් නියමිත පරිදි පැවැත්වීමටත් වෛද්‍ය අධ්‍යක්ෂවරුන් වගබලා ගත යුතුය.
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)
No comments:
Post a Comment