පියංකර අතට ජම්පර දෙක, බෙලෙක් පිඟාන හා බෙලෙක් කෝප්පය - Lanka News Click 24x7

පියංකර අතට ජම්පර දෙක, බෙලෙක් පිඟාන හා බෙලෙක් කෝප්පය

Share This
two-jumpers-a-plate-and-a-cup-for-the-first-hand

2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාලියට පැමිණි පිරිසට දිවා ආහාරය සැපයීම සඳහා ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ මුදල් යොදවන ලෙස එහි ප්‍රධාන විධායක නිලධාරියාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවක අධිචෝදනා දෙකටම වරදකරු වූ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත ස්ථානයක රඳවා තබා තිබේ.




කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව එක් චෝදනාවකට වසර 7 බැගින් වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර, එම සිරදඬුවම් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටත්, ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක දඩයක් ගෙවීමටත් නියෝග කර ඇත.

ඊයේ පස්වරු 5ට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ හිටපු අමාත්‍යවරයා ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වනවාත් සමඟම සිරකරුවන්ට ලබා දෙන ජම්පර දෙක, බෙලෙක් පිඟාන, බෙලෙක් කෝප්පය සහ බාස්කට් එක ලබා දී ඇති අතර, ඉන් අනතුරුව ඔහු සිරකරුවෙකු ලෙස ලියාපදිංචි කර නිකුත් කළ සිරකරු අංකය සිරදඬුවම් කාලය නිමවන තෙක් භාවිත කිරීමට නියමිතය.




සිරදඬුවම් නියම වන අවස්ථාවේ ඇති වන දැඩි මානසික ඇදවැටීම හේතුවෙන් බන්ධනාගාරයට ඇතුළත් කරගන්නා අනෙකුත් සිරකරුවන්ට මෙන්ම පියංකර ජයරත්න මහතාට ද මානසික උපදේශන සේවාව ලබා දී ඇති අතර, ඊයේ රාත්‍රියේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව බන්ධනාගාරයේ ගත කළ යුතු ආකාරය සහ හිමිවන වරප්‍රසාද පිළිබඳව නිලධාරීන් විසින් ඔහුව දැනුවත් කර තිබේ.

සාමාන්‍ය සිරකරුවෙකු මෙන් උදෑසන 6ට වාට්ටුවෙන් පිටතට ගෙන පස්වරු 5ට නැවත වාට්ටුවට යොමු කෙරෙන හිටපු අමාත්‍යවරයාට නිවසින් හෝ පිටස්තර පාර්ශ්වයන්ගෙන් ආහාර ලබා ගැනීමට අවසර හිමි නොවන අතර, බන්ධනාගාරයෙන් නිකුත් කරන ආහාර වේල් තුන පමණක් ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම මසකට වරක් පමණක් හිමිවන පවුලේ හමුවීම්වලදී ද ලබා ගැනීමට අවසර හිමිවන්නේ සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණි.



මේ අතර හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා අද දිනයේ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී ඔහුගේ කුසලතා සහ හැකියාවන් විමසා බැලීමෙන් පසු මේසන්, වඩු, මුද්‍රණ, බේකරි හෝ ආහාර පිසීමේ අංශ වැනි බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක සුදුසු වැඩ අංශයක් වෙත ඔහුව යොමු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Pages