බිරියගේ පපුව අත ගෑවයි කොස්තාපල්ට කඩුවකින් කොටා වාහනයෙන් එළියට ඇද දාලා - Lanka News Click 24x7

බිරියගේ පපුව අත ගෑවයි කොස්තාපල්ට කඩුවකින් කොටා වාහනයෙන් එළියට ඇද දාලා

Share This
a-constable-was-stabbed-with-a-sword-and-dragged-out-of-the-vehicle-after-touching-his-wifes-chest

පසුගිය දාහතර වැනිදා රාත්‍රිය කතරගම පොලිසියේ ජංගම සංචාරක කණ්ඩායමට සාමාන්‍ය රාජකාරි මුරයක් විය. එහෙත් සෙල්ල කතරගම ප්‍රදේශයේ කඩ කාමරයක් අසල තුවාල ලබා වැටී සිටින පුද්ගලයකු පිළිබඳව ලද තොරතුරක් ඔවුන්ගේ අවධානය වහාම වෙනතකට යොමු කළේය.

එම ස්ථානයට ගොස් තුවාලකරු සොයාගෙන තොරතුරු විමසීමේදී පොලිස් නිලධාරීන්ට අනාවරණය වූයේ ඔහු වෙනත් අයෙකු නොව, තංගල්ල පොලිස් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බවයි.




බරපතළ තුවාල ලබා සිටි කොස්තාපල්වරයා කඩිනමින් හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර, ඉන් අනතුරුව ආරම්භ වූ විමර්ශනවලදී මීට මුල් වූ අනපේක්ෂිත සිදුවීම් මාලාව පෙළගැසෙන්නට විය. මෙම අපරාධය පිටුපස ඇත්තේ රාත්‍රී කාලයේ මෝටර් රථයකින් ගිය ගමනක් අතරතුර ඇති වූ බව කියන ආවේගශීලී ගැටුමකි.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව, සිද්ධිය වූ අවස්ථාවේ සැකකාර පුද්ගලයා මෝටර් රථය පදවාගෙන ගොස් ඇති අතර, ඔහුගේ බිරිය සහ අදාළ පොලිස් කොස්තාපල්වරයා ගමන් කර ඇත්තේ රථයේ පිටුපස අසුනේය. රථය පදවාගෙන යන අතරවාරයේ කොස්තාපල්වරයා සිය බිරියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කරන අයුරු දුටු බව අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.




ඉන් කෝපයට පත් රියදුරු සෙල්ල කතරගම ප්‍රදේශයේ අදාළ කඩ කාමරය අසල රථය නතර කර ඇත. අනතුරුව රථයේ ඩිකියේ දමා තිබූ කඩුවක් ගෙන කොස්තාපල්වරයාට පහර දී තුවාල සිදු කර ඇති අතර, තුවාල ලැබූ නිලධාරියාව රථයෙන් එළියට ඇද දමා එහිම අතහැර බිරිය ද සමඟ ඔහු පළා ගොස් තිබේ.

රෝහල්ගත කළ කොස්තාපල්වරයාගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ කඩිනම් මෙහෙයුමක් දියත් කළ කතරගම පොලිසිය, පසුගිය පහළොස් වැනිදා දික්වැල්ල, නිල්වැල්ල ප්‍රදේශයේදී තිස් හැවිරිදි අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. සිද්ධිය වන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු මත, පහර දීම සඳහා යොදාගත් බවට සැලකෙන කඩුව මෝටර් රථය තුළම සඟවා තිබියදී පොලිස් භාරයට ගැනීමට ද විමර්ශකයෝ සමත් වූහ.



අත්අඩංගුවට ගත් සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මෙම මස 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණය නියෝග කළේය. කඩු පහරට ලක්ව තුවාල ලැබූ කොස්තාපල්වරයා තවදුරටත් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන අතර, කතරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටී.

No comments:

Post a Comment

Pages