ප්රමාණවත් නින්දක් ලබා ගැනීම පමණක් දැන් ප්රමාණවත් නැතිද? කොතරම් හොඳින් පාඩම් කළත් එය සෑහෙන්නේ නැතිද?විවේකීව ගත කරන කාලයෙන් පවා යම් නිශ්චිත අරමුණක් ඉටු කර ගත යුතුමද? අප දැන් ජීවත් වන්නේ ජීවිතයේ සෑම අංශයක්ම තමා දියුණු කර ගැනීමේ ව්යාපෘතියක් බවට පත් කරගත් සංස්කෘතියක් තුළය.
පෙනුම අලංකාර කර ගැනීමේ සිට නින්ද, ආහාර රටාව, ඵලදායීතාව සහ විවේකය දක්වා උපරිම ප්රතිඵල ලබා ගැනීමේ මෙම නවීන ප්රවණතාව, හුදෙක් වඩා හොඳින් යමක් කිරීමට වඩා හැකිතාක් දුරට සියල්ල උපරිමයෙන් කිරීම අරමුණු කරයි. 2026 වසරේ Dictionary.com හි වසරේ වචනය ලෙස ‘maxxing’ තෝරාගෙන ඇත්තේ ද සමාජ මාධ්ය හරහා ව්යාප්ත වූ මෙම අපේක්ෂාවන්ගේ වැඩෙන බලපෑම නිසාවෙනි.
‘Maximising’ හෙවත් උපරිම කිරීම යන පදයෙන් බිඳී ආ මෙය, යම් ක්රියාවක උපරිම විභවය ළඟා කර ගැනීම සඳහා දරන දැඩි උත්සාහය විස්තර කිරීමට ඕනෑම ක්රියාවකට අගින් එක් කළ හැකි නම්යශීලී ප්රත්යයක් බවට පත්ව ඇත. සමේ සත්කාර, ශාරීරික යෝග්යතාව සහ විලාසිතා හරහා බාහිර පෙනුම දියුණු කර ගැනීම ‘looksmaxxing’ වේ. මුහුණ සේදීම, මොයිස්චරයිසර් සහ SPF 50 හිරු ආවරණ ගැල්වීම වැනි දෛනික සත්කාර මෙන්ම හිසකෙස් කැපීම සහ ඇහිබැමි හැඩ කිරීම ‘softmaxxing’ ලෙස හැඳින්වෙන අතර, ප්ලාස්ටික් ශල්යකර්ම, නාසය හැඩ කිරීමේ සැත්කම්, නිකට දිගු කිරීම, මුහුණේ සැත්කම් සහ බොටොක්ස් භාවිතය ‘hardmaxxing’ ගණයට වැටේ. මීට අමතරව, නින්දේ ගුණාත්මකභාවය වැඩි කර ගැනීම ‘sleepmaxxing’ ලෙසත්, ප්රෝටීන් පරිභෝජනය වැඩි කිරීම ‘proteinmaxxing’ ලෙසත්, සුවපහසු වටපිටාවක් හරහා විවේකය හඹා යාම ‘cozymaxxing’ ලෙසත් හැඳින්වෙන අතර ඵලදායීතාවය අරමුණු කරගත් ‘productivitymaxxing’ වැනි යෙදුම් ද ඊට ඇතුළත්ය.
මෙම ‘maxxing’ සංකල්පය යනු සැබවින්ම අපගේ ජීවන රටාව සහ දෘශ්ය සංස්කෘතිය තුළ පවතින “මැක්සිමලිසම්” (Maximalism) හෙවත් උපරිමවාදී දර්ශනයේම තවත් එක් ප්රබල දිගුවකි. “වැඩි වන තරමට හොඳය” (More is More) යන මූලධර්මය මත පදනම් වූ මැක්සිමලිසම් දර්ශනය මඟින් බහුලත්වය, හැඟීම් ප්රකාශ කිරීම සහ සංවේදී උත්තේජනයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. තද වර්ණ, පොහොසත් නිමැවුම්, විවිධ රටා සහ එකතු කිරීම් හරහා පරිසරය සහ භාණ්ඩ තමන්ගේ අනන්යතාවය සහ කතන්දරය කියාපාන කැන්වසයක් බවට පත් කර ගැනීම මෙහි ස්වභාවයයි. එය ඉතා ඝෝෂාකාරී, පොහොසත් මෙන්ම විවිධත්වයෙන් යුත් දෘශ්ය අත්දැකීමක් ලබා දෙන අතර, භාණ්ඩවල වටිනාකම මනිනු ලබන්නේ ඒවායේ ඇති අර්ථය, ඉතිහාසය සහ හැඟීම් මතය. මැක්සිමලිසම් හරහා පුද්ගලයෙකුගේ හැඟීම්බර බව ඉහළ නැංවුවද, නිසි පාලනයකින් තොරව එය අනුගමනය කිරීමෙන් අධික උත්තේජනයක් හෝ මානසික වෙහෙසක් ඇති වීමේ දැඩි අවදානමක් ද පවතී.
මීට හාත්පසින්ම වෙනස් වූ අනෙක් අන්තය වන්නේ “මිනිමලිසම්” (Minimalism) හෙවත් අවමවාදී දර්ශනයයි. “අඩු වන තරමට හොඳය” (Less is More) යන සංකල්පය විශ්වාස කරන මිනිමලිසම් දර්ශනය, සරල බව, පැහැදිලි බව සහ ක්රියාකාරීත්වය මත පමණක් පදනම් වේ. අනවශ්ය සියල්ල ඉවත් කරමින් අවුල් සහගත බව, ඝෝෂාව සහ මානසික බර (cognitive load) අඩු කිරීම මෙහි මූලික අරමුණයි. මිනිමලිසම් තුළ භාණ්ඩ රැස් කිරීමට වඩා ඒවායේ ප්රයෝජනය සහ අරමුණ අගය කෙරේ. උදාසීන සහ සීමිත වර්ණ භාවිත කරන මෙම දර්ශනය ඉතා නිස්කලංක, සන්සුන් සහ විවෘත දෘශ්ය පරිසරයක් නිර්මාණය කරයි. මෙහිදී යමක වටිනාකම රඳා පවතින්නේ හුදෙක් එහි ක්රියාකාරීත්වය මත පමණක් වන අතර, එය මානසික වෙහෙස අවම කර සිතට දැඩි සන්සුන් බවක් ගෙන ඒමට උපකාරී වේ.
කෙසේ වෙතත්, වර්තමාන සමාජය මිනිමලිසම් දර්ශනයට වඩා වේගයෙන් නැඹුරු වී ඇත්තේ උපරිමය හඹා යන මැක්සිමලිසම් සහ ‘maxxing’ සංකල්පයන් වෙතය. සමාජ මාධ්ය හරහා මිනිසුන් තුළ ඇති කරන පීඩනය මීට ප්රධාන හේතුවක් වී තිබේ. සමාජ මාධ්ය ක්රියාකාරීන් විසින් පෙන්වන සංකීර්ණ උදෑසන චර්යාවන්, දැඩි ව්යායාම කාලසටහන් සහ සැලසුම් සහගත ආහාර රටාවන් මඟින් මිනිසුන්ව දිරිමත් කළ ද, ඒ හරහා නිමක් නැති සංසන්දනය කිරීම් මාලාවක් ද නිර්මාණය වේ. වීඩියෝවකින් කිසිදා නොපෙනෙන ඔවුන්ගේ වසර ගණනාවක උත්සාහය, මූල්යමය වරප්රසාද, වෘත්තීය සහාය හෝ පෞද්ගලික අරගලයන් බොහෝ දෙනෙකුට අමතක වේ. මේ නිසාම තමන්ව දියුණු කර ගැනීම පෞද්ගලික ගමනක් වෙනුවට අඛණ්ඩ වගකීමක් සහ තරඟයක් බවට පත්ව ඇත.
මෙම තත්ත්වය අසීමිත පරිපූර්ණත්වයක් අපේක්ෂා කිරීම, කාංසාව සහ මානසික වෙහෙස දක්වා වර්ධනය විය හැකිය. ‘Productivitymaxxing’ හේතුවෙන් මිනිසුන් තම දවස මනිනු ලබන්නේ සම්පූර්ණ කළ කාර්යයන් ගණන මත පමණක් වන අතර, විවේකය යනු ඵලදායී නොවන දෙයක් ලෙස හැඟෙන්නට පටන් ගනී. අවසානයේදී නිදහස් කාලය යනු භුක්ති විඳිය යුතු දෙයක් වෙනුවට ප්රශස්ත කළ යුතු තවත් එක් ඉලක්කයක් පමණක් බවට පත්වේ. බාහිර පෙනුම වෙනස් කර ගැනීම නිමක් නැති ව්යාපෘතියක් වූ විට අතාත්වික රූපලාවන්ය ප්රමිතීන්ට නිරාවරණය වීමෙන් පුද්ගලයින්ගේ අනාරක්ෂිත හැඟීම් තවත් තීව්ර වන අතර, සෞඛ්යය වෙනුවට තම ශරීරයේ ඇති අඩුපාඩු පිළිබඳව නිරන්තරයෙන් වද වීමට මිනිසුන්ව පොලඹවයි.
උත්සාහය මත පමණක් සියල්ල උපරිම කළ හැකිය යන මතයේ ද සීමාවක් ඇත. පුද්ගලික තත්ත්වයන්, මූල්ය සම්පත්, සෞඛ්යය, අවස්ථාවන් සහ වාසනාව යන සියල්ලම ප්රතිඵල කෙරෙහි බලපායි. එබැවින් වඩාත් සෞඛ්ය සම්පන්න ප්රවේශය ආරම්භ වන්නේ අර්ථවත් වර්ධනය සහ පීඩාකාරී ප්රශස්තකරණය අතර වෙනස හඳුනා ගැනීමෙනි. නින්ද පැවතිය යුත්තේ යහපැවැත්ම වෙනුවෙන් මිස එය තවත් කාංසාවකට මුලක් කර ගැනීමට නොවේ. ඵලදායීතාවය මිනිසුන්ට වැදගත් දේවල් සඳහා කාලය නිර්මාණය කර ගැනීමට උපකාරී විය යුතු අතර, එය ඔවුන්ගේ සෑම විවේකී මොහොතක්ම ගිලගන්නා දෙයක් නොවිය යුතුය. මිනිසුන්ට තම අරමුණු ජයගැනීමට මෙතරම් මෙවලම් තිබෙන යුගයක, පරමාදර්ශී ජීවිතයකට තමන්ව මැන බැලීමට ඇති පීඩනය කළමනාකරණය කර ගැනීම අද දවසේ පවතින දැවැන්තම පරස්පරතාවයයි.
No comments:
Post a Comment