ශ්රී ලාංකික පෙම්වතෙකුගේ ආදරය විශ්වාස කරමින් ධීවර බෝට්ටුවක් මිලදී ගැනීමට යුරෝ 25,000ක මුදලක් ලබාදුන් ජර්මන් ජාතික කාන්තාවකට, අවසානයේදී එම පෙම්වතාගෙන්ම පොලු ප්රහාරයකට ලක්වීමට සිදුවූ පුවතක් රත්ගම ප්රදේශයෙන් වාර්තා වේ. පහරකෑමට ලක්වූ 40 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව මේ වන විට සිය පෙම්වතාට ලබාදුන් එම මුදල ආපසු ලබාදෙන ලෙස ඉල්ලා රත්ගම පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම ජර්මන් ජාතික කාන්තාව මීට පෙර අවස්ථාවක ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවකදී පිටිවැල්ල, බූස්ස ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු සමග ප්රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබේ. එම සම්බන්ධතාවය මත ඇය සිය ශ්රී ලාංකික පෙම්වතාට ධීවර බෝට්ටුවක් මිලදී ගැනීම සඳහා යුරෝ විසිපන්දහසක මුදලක් ලබා දී ඇත.
මෙවරද සංචාරයක් සඳහා ඇය ලංකාවට පැමිණ බූස්ස ප්රදේශයේ පිහිටි හෝටලයක කාමරයක් වෙන්කරවාගෙන සිය පෙම්වතා යැයි කියන තරුණයා සමග එහි කාලය ගතකරමින් සිට ඇත. එලෙස හෝටල් කාමරයේ රැඳී සිටින අතරතුර, තරුණයා ඇයගෙන් තවදුරටත් මුදල් ඉල්ලා කරදර කර තිබේ. එහිදී ඔහු ජර්මන් කාන්තාවට පොල්ලකින් පහර දී ඇති අතර, එම අවස්ථාවේදී ඇයගේ ජංගම දුරකථනයටද හානි සිදුවී ඇති බව රත්ගම පොලිසියේ නිලධාරියෙකු ඊයේ (14) අනාවරණය කළේය.
පොලු ප්රහාරයට ලක්වූ ජර්මන් ජාතික කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරමින් ඉල්ලා සිටින්නේ, තමන් මීට පෙර බෝට්ටුවක් ගැනීමට ලබාදුන් මුදල යළිත් තමාට ලබාදීමට කටයුතු කරන ලෙසයි. සිද්ධියට අදාළ තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් විමර්ශන පවත්වති.
No comments:
Post a Comment