මංගල සහ පෞද්ගලික උත්සව සඳහා ගීත ගැයීමට බලපත්‍ර ක්‍රමය අහෝසියි - Lanka News Click 24x7

මංගල සහ පෞද්ගලික උත්සව සඳහා ගීත ගැයීමට බලපත්‍ර ක්‍රමය අහෝසියි

Share This
licensing-system-for-singing-at-weddings-and-private-functions-abolished

ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සංගීත කෘති වාණිජමය වශයෙන් භාවිත කිරීම සඳහා මෑතකදී හඳුන්වා දෙන ලද නව බලපත්‍ර ක්‍රමවේදයේ ක්‍රියාත්මක කිරීමේ සීමාවන්, ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. සංගීත නිර්මාණකරුවන්ට, ගේය කාව්‍ය රචකයන්ට සහ ප්‍රකාශකයන්ට හිමි විය යුතු කතෘභාග නිසි පරිදි ලබා දීම තහවුරු කිරීමේ අරමුණින් මෙම බලපත්‍ර ක්‍රමය හඳුන්වා දෙන ලද නමුත්, නියමිත ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව අතර තවදුරටත් මතභේදාත්මක තත්ත්වයක් පවතී.




ශ්‍රී ලංකා උත්සව කළමනාකරුවන්ගේ සංගමය සහ ලංකා ඩිස්ක් ජොකී (DJ) සංගමය සමඟ පැවැති සාකච්ඡාවලදී මතු වූ ප්‍රායෝගික ගැටලු සහ නිරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ අදහස් සැලකිල්ලට ගනිමින්, DJ ශිල්පීන්, මංගල උත්සව සහ පෞද්ගලික උත්සව සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ACPOSL හි සභාපති නිලාර් එන්. කාසිම් මහතා සඳහන් කළේය. එසේ වුවද, සංගීත ප්‍රසංග සහ ආයතනික මට්ටමේ උත්සව සඳහා මෙම බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය වේ.

නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදයට සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ සහයෝගය හිමි වී ඇති අතර, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක පියල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ගීත රචකයන්ට සහ සංගීත නිර්මාණකරුවන්ට මීට වඩා ආර්ථික ප්‍රතිලාභ හිමි විය යුතු බවයි. වර්තමානයේ ගීත රචකයන්ගෙන් සියයට 90 ක් පමණ ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන බැවින් ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් පැවැතීම අත්‍යවශ්‍ය බවත්, තමන් සංගීත කණ්ඩායමක් ලෙස තමන්ගේ ගීත රචකයන්ට මුදල් ගෙවීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.




මේ පිළිබඳව අදහස් දක්වමින් සංගීත නිර්මාණ ශිල්පී නවරත්න ගමගේ මහතා සඳහන් කළේ, සංගීතඥයන්ට තමන්ගේ නිර්මාණ සඳහා නිසි වටිනාකමක් ලැබීම තහවුරු කිරීමට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතු බවයි. අතීතයේදී කැසට් පට, රින්ග්ටෝන් සේවා සහ විවිධ මාධ්‍ය ජාල හරහා සංගීතඥයන් දායකත්වය ලබා දුන්නද ඒ සඳහා ඔවුන්ට නිසි වටිනාකමක් නොලැබුණු බව පෙන්වා දුන් ඔහු, ගායකයන්, සංගීතඥයන් සහ ගීත රචකයන් යන සියලු දෙනාටම සාධාරණ සහ සම සෙතක් සැලසෙන පරිදි මෙම පද්ධතිය ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය (SLASA) පවතින ගාස්තු ව්‍යුහය සහ එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබේ. ACPOSL සංගමයට මෙලෙස ගාස්තු පැනවීමට ඇති නීතිමය පදනම, එම ගාස්තු තීරණය කරන ලද ආකාරය සහ එකතු වන මුදල් නිර්මාණකරුවන් අතර බෙදා හරින ආකාරය පිළිබඳව එම සංගමය ප්‍රශ්න කර සිටියි. ගීත රචකයන්ගේ සහ සංගීතඥයන්ගේ බුද්ධිමය දේපළ අයිතිය සුරැකීමේ අවශ්‍යතාව පිළිගන්නා නමුත්, මෙම බලපත්‍ර ක්‍රමය හේතුවෙන් මහජනතාව, සංගීතඥයන් සහ උත්සව සංවිධායකයන් මත අසාධාරණ මූල්‍ය බරක් නොපැටවිය යුතු බව SLASA සංගමය සඳහන් කරයි.



සී ප්ලස් (C Plus) සංගීත කණ්ඩායමේ නායක චන්දුමාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මෙය හොඳ පියවරක් වුවද එය ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට ගැලපෙන පරිදි සකස් විය යුතු බවයි. යෝජිත ගාස්තු කිසිවෙකුටත් අමතර බරක් නොවන පරිදි නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටි ඔහු, ක්ෂේත්‍රයේ ඇති දැනුවත්භාවයේ අඩුව නිසා මෙවැනි මතභේද හටගන්නා බවත්, ගායකයන්, සංගීතඥයන්, ගීත රචකයන්, සංගීත කණ්ඩායම් සහ උත්සව කළමනාකරුවන් ඇතුළු සියලුම පාර්ශ්ව දැනුවත් කර විනිවිදභාවයකින් යුතුව මුදල් එකතු කිරීම සහ බෙදා හැරීම සිදු කළ යුතු බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ACPOSL හි සභාපති නිලාර් එන්. කාසිම් මහතා පැහැදිලි කළේ, ගෙවීම් සිදු කරනු ලබන්නේ උත්සව සංවිධායකයන් විසින් බැවින් මෙම බලපත්‍ර ක්‍රමය සංගීත කණ්ඩායම්වලට හෝ සංගීතඥයන්ට සෘජුව බලපාන්නේ නැති බවයි. එමෙන්ම පද්ධතියේ වෙනස් විය යුතු අංශ පිළිබඳව ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට ACPOSL සූදානමින් සිටින බවද ඔහු පැවසීය. අන්තර්ජාතික කතෘ සහ සංගීත නිර්මාණකරුවන්ගේ සංගම් සම්මේලනයේ (CISAC) සාමාජිකත්වය ලබාගැනීමේ අරමුණින් ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) සමඟ සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්මක කොටසක් ලෙස මෙම බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වන බවත්, වාණිජමය සංගීත භාවිතයෙන් කතෘභාග එකතු කිරීම එහි එක් පියවරක් බවත් ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Pages