එංගලන්ත සංචාරයේ පස්වන තරගයේදී සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලීඩ්ස් හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී එංගලන්තය පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණය හිමිකර ගත් අතර, ඒ සමගම තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් විය.
විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස පරාජය වී පළමු එක්දින තරගයෙන්ද ලකුණු 89ක පරාජයක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ජයග්‍රහණය ඉතා තීරණාත්මක විය. කකුලේ මස්පිඬු ආබාධයකින් පසුවූ කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමේ නායකත්වයට පැමිණි අතර, කොන්දේ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග මුළු එක්දින තරගාවලියෙන්ම ඉවත් කර ආපසු දිවයිනට යවන ලදී. එමෙන්ම දුෂ්මන්ත චමීර වෙනුවට එෂාන් මාලිංග කණ්ඩායමට එක්කර තිබිණි.
කාසියේ වාසිය දිනාගැනීමෙන් පසු පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. පැතුම් නිශ්ශංක ලකුණු 25කට දැවී යාමෙන් පසු පිටියට එක්වූ කමිනිදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 120කින් ලකුණු 137ක වේගවත් සබඳතාවක් ගොඩනැගූහ. ලකුණු 18දී ගස් ඇට්කින්සන් අතින් උඩපන්දුවක් ගිලිහී යාමේ වාසිය ලබාගත් කුසල් මෙන්ඩිස්, පන්දු 82කින් තම හත්වන එක්දින ශතකය ලබාගත් අතර පන්දු 121කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 121ක් රැස් කිරීමට සමත් විය.
කමිනිදු මෙන්ඩිස් ලකුණු 54ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී පවන් රත්නායක පන්දු 39කින් ලකුණු 48ක්ද, ජනිත් ලියනගේ පන්දු 26කින් ලකුණු 32ක්ද රැස් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 321 දක්වා ඉහළ නැංවූහ. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ගස් ඇට්කින්සන් සහ රෙහාන් අහමඩ් කඩුලු 2 බැගින් දවාගත් අතර, මෙම ලකුණු සංඛ්‍යාව එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගයකදී ලබාගත් තෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.
ලකුණු 322ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් බැන්ටන් (73) සහ බෙන් ඩකට් (67) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 19.4කදී ලකුණු 143ක ප්‍රබල ආරම්භයක් ලබා දුන්හ. එංගලන්තය පහසුවෙන් ජයග්‍රහණය දෙසට ගමන් කරමින් සිටියදී තරගයේ මග වෙනස් කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය.
වෙල්ලාලගේ විසින් බෙන් ඩකට් කෙලින්ම පන්දු රකින්නාගේ කඩුල්ලේ වද්දා දවාගත් අතර, ටොම් බැන්ටන් ස්ටම්ප් කිරීමකට හසුකර ගනිමින් සහ හැරී බෲක් ලකුණු එකකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් එංගලන්ත ඉනිමේ ඉහළ පෙළ සුනුවිසුනු කළේය. ඉන්පසුව මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ සචින්ද කොලොම්බගේ විසින් ජෝ රූට්ගේ කඩුල්ල දවාගැනීමත් සමග එංගලන්තය ලකුණු 203කට කඩුලු 4ක් ලෙස අමාරුවේ වැටිණි.
එංගලන්තය වෙනුවෙන් ජොස් බට්ලර් පන්දු 48කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 69ක් ලබා ගනිමින් සහ විල් ජැක්ස් ලකුණු 52ක් ලබා ගනිමින් නැවත තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළද, පන්දුවාර 48.4ක් අවසානයේ එංගලන්ත ඉනිම ලකුණු 303කට කඩුලු 8ක් ලෙස සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. විල් ජැක්ස්ගේ කඩුල්ල එෂාන් මාලිංග විසින් දවාගත් අතර අවසන් පන්දුවාර කිහිපයේදී එංගලන්ත පිතිකරුවන්ට අවශ්‍ය ලකුණු ලබාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොදුන්හ.
දෙපිලටම තීරණාත්මක වන තරගාවලියේ අවසන් සහ තෙවන එක්දින ජාත්‍යන්තර තරගය සැප්තැම්බර් 27 වනදා ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
No comments:
Post a Comment