ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ගැන පොලිස් නිවේදනයක් - Lanka News Click 24x7

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ගැන පොලිස් නිවේදනයක්

Share This
police-statement-on-digital-car-insurance-card

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ක්ෂේත්‍රයේ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ තීරණයකට අනුව 2026 මැයි 01 වන දින සිට මෝටර් රථ රක්ෂණ සහතික වෙනුවට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇත. ඊට අමතරව, 1999 අංක 20 දරන පනතින් ස්ථාපිත කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් නිකුත් කරනු ලබන රථවාහන රක්ෂණ සඳහා ද 2026 ජූලි 20 වන දින සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් හඳුන්වා දී තිබේ.

මේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන වෙත අවශ්‍ය නියෝග සහ උපදෙස් ලබා දීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.




මෙම නව ක්‍රමවේදය යටතේ සාමාන්‍ය රක්ෂණ සමාගම් විසින් ජංගම දුරකථන යෙදවුම් (Phone Apps) ඔස්සේ ඩිජිටල් රක්ෂණ කාඩ්පත ලබා දෙන අතර, රක්ෂණ හිමියා ඉල්ලා සිටින අවස්ථාවලදී පමණක් මුද්‍රිත සහතිකයක් ලබා දෙනු ලැබේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් QR කේතයක් සහ URL ලිපිනයක් කෙටි පණිවිඩයක් හෝ විද්‍යුත් ලිපියක් මාර්ගයෙන් රක්ෂිතයාගේ ජංගම දුරකථනයට යොමු කිරීම මගින් ඩිජිටල් කාඩ්පත ලබා දීමට කටයුතු කරයි.

ඩිජිටල් රක්ෂණ පත්‍රවල වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහා ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය සහ කෘෂි රක්ෂණ ඔප්පු සත්‍යාපන පද්ධතිය ස්ථාපිත කර ඇත. සාමාන්‍ය රක්ෂණ සමාගම්වල රක්ෂණාවරණ සඳහා *1338# USSD කේතය හෝ 1338 අංකයට කෙටි පණිවිඩයක් යැවීමෙන් වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය ඇතුළත් කර වලංගුතාවය ක්ෂණිකව තහවුරු කරගත හැකිය. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ සඳහා *1918# කේතය හෝ 1918 අංකයට කෙටි පණිවිඩ යැවීම සිදු කළ හැක. මීට අමතරව 1338 සහ 1918 ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ පාරිභෝගික සේවා නියෝජිතයන් සම්බන්ධ කරගනිමින් ද, QR කේත ස්කෑන් කිරීමෙන් හෝ URL ලිපින ඔස්සේ ද වලංගුභාවය පරීක්ෂා කිරීමේ පහසුකම පවතී. 1338 සහ 1918 අංක වෙත ලබා ගන්නා ඇමතුම් හා කෙටි පණිවිඩ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.




*1338# සහ 1338 SMS සේවාව භාවිතා කිරීමේදී වාහන අංකයේ අකුරු සහ ඉලක්කම් අතර කිසිදු හිස්තැනක් (Space) නොතබා, කෙටි ඉරක් (-) සහිතව අංකය ඇතුළත් කළ යුතු අතර "ශ්‍රී" අක්ෂරය වෙනුවට "SRI" ලෙස ඉංග්‍රීසියෙන් යෙදිය යුතුය. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ *1918# සහ 1918 SMS සේවාවන්හිදී පළාත් අක්ෂර ඇතුළත් නොකළ යුතු අතර, "ශ්‍රී" අක්ෂරය සඳහා කෙටි ඉරක් (-) භාවිත කළ යුතුය.

රිය අනතුරු විමර්ශනයකදී මුද්‍රිත පිටපතක් අවශ්‍ය වන්නේ නම් අදාළ රක්ෂණ ආයතනයෙන්, ඩිජිටල් කාඩ්පතේ මුද්‍රිත පිටපතකින් හෝ QR කේතය පරිලෝකනය කර දත්ත පද්ධතියෙන් බාගත කරගන්නා පිටපතකින් එය ලබාගත හැක. මෝටර් වාහන පනතේ 104 (1) වගන්තියට අනුව රක්ෂණ සහතිකය පරීක්ෂාවට ඉදිරිපත් කිරීම රියදුරුගේ වගකීමක් වන අතර, ඩිජිටල් කාඩ්පතේ මුද්‍රිත ඡායා පිටපතක් ඉදිරිපත් කළද එහි වලංගුභාවය කෙටි පණිවිඩ හෝ කෙටි අංක මගින් තහවුරු කරගැනීමට පොලිසියට හැකියාව ඇත. 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ II පරිච්ඡේදයේ 3 වන වගන්තිය ප්‍රකාරව මෙම ඩිජිටල් රක්ෂණ කාඩ්පත්වල නීතිමය වලංගුභාවය ප්‍රතික්ෂේප කළ නොහැක. මීට පෙර නිකුත් කරන ලද රක්ෂණ සහතික ඒවායේ කාලසීමාව අවසන් වන තෙක් වලංගුව පවතින අතර, තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම ද ඉදිරියේදී නතර කරන තෙක් පෙර පරිදිම සිදු වේ.

No comments:

Post a Comment

Pages