බදුල්ල, ඇල්ල රාවණා ඇල්ල රක්ෂිත අභයභූමියට අයත් කරඳගොල්ල කඳුවැටිය අභ්‍යන්තරයේ පිහිටි විශ්මයජනක නිල්දිය පොකුණ නැරඹීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නව නීති රීති හා රෙගුලාසි මාලාවක් පනවා තිබේ. පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් ඊට අදාළ විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති අතර, ඉදිරියේදී නියාමන ක්‍රමවේදයකට යටත්ව දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් මෙම භූගත ගුහා සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.
නව රෙගුලාසිවලට අනුව වයස අවුරුදු 10ට අඩු දරුවන්ට නිල්දිය පොකුණ පරිශ්‍රයට ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර, වයස අවුරුදු 10ත් 18ත් අතර පසුවන්නන්ට නැරඹීමේ අවස්ථාව හිමිවන්නේ භාරකරුවකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ පමණි. එමෙන්ම සංචාරයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල මාර්ගෝපදේශකයන්ගේ සහාය ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර ජලයට බැසීම, පරිසරය අපිරිසිදු කිරීම, ඝෝෂා කිරීම, ගීත වාදනය, ගිනි මෙලවීම මෙන්ම දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය ද තදින්ම තහනම් කර ඇත.
පොළොව මතුපිට සිට මීටර් 80ක් පමණ ගැඹුරින් පිහිටි මෙම අතිශය දුෂ්කර ගුහා පරිශ්‍රයට ළඟාවීම සඳහා සංචාරකයන්ට පටු උමං ඔස්සේ බඩගාමින් සහ ලිස්සන සුළු පර්වත දිගේ ගමන් කිරීමට සිදුවේ. හිරු එළිය නොවැටෙන ඝන අන්ධකාරයෙන් සහ අඩු ඔක්සිජන් මට්ටමකින් යුත් මෙම පරිසරයේ ජීවිත අවදානමක් ද පවතින බැවින් මහත් පරිශ්‍රමයක් දරා පහළට ගමන් කළ පසු දීප්තිමත් නිල් පැහැයෙන් බැබළෙන මෙම අද්භූත පොකුණ හමුවේ.
ජනප්‍රවාදයට අනුව රාමායණ යුගයේදී රාවණ රජු විසින් ආරක්ෂිත ගමන් බිමන් උදෙසා නිර්මාණය කළ භූගත උමං ජාලයේ එක් නැවතුම්පොළක් ලෙස සැලකෙන මෙම ස්ථානය රාවණා ඇල්ල ගුහාව හා සම්බන්ධ වන බවත්, සීතා දේවිය දිය නෑමට මෙය භාවිත කළ බවත් විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, ටෝච් එළිය වැටෙන විට විනිවිද පෙනෙන අතිශය පිරිසිදු ජලයෙහි ඇති විශේෂ පාෂාණ ලවණ මඟින් ආලෝකය පරාවර්තනය වීම මෙම නිල් පැහැති දසුන පිටුපස ඇති විද්‍යාත්මක පදනමයි.
No comments:
Post a Comment