පලෙයි කැලේ LTTE කඳවුරක් ඇතැයි නොමග යවන කතා පැතිරූ සංගීත් අත්අඩංගුවට - Lanka News Click 24x7

පලෙයි කැලේ LTTE කඳවුරක් ඇතැයි නොමග යවන කතා පැතිරූ සංගීත් අත්අඩංගුවට

Share This
sangeet-arrested-for-spreading-misleading-rumors-about-ltte-camp-in-palai-forest

කිලිනොච්චිය, අක්කරායන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් පලෙයි රක්ෂිතය තුළ එල්ටීටීඊ සංවිධානයට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රචාරය කළ බව කියන සැකකරුවෙකු සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි රඹුකේවෙල අධිකාරිගේ සංගීත් ජයසේකර නැමැති අයෙකි.




සැකකරු අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මාධ්‍ය හමුවක් පවත්වා මෙම තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත. ඔහු ඉදිරිපත් කළ හැඳුනුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද්දක් නොවන අතර, වෙනත් හැඳුනුම්පත් භාවිත කරමින් අන් අය වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වේ. සිද්ධියට අදාළව මාධ්‍ය හමුව විකාශය කළ සිරස, රූපවාහිනී, දෙරණ, ස්වර්ණවාහිනී, ස්වාධීන රූපවාහිනිය, හිරු, සියත සහ වී එෆ් එම් යන නාලිකාවල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අදාළ නාලිකා ප්‍රධානීන්ට නියෝග කළේය.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයෙකු ලබාදුන් තොරතුරකට අනුව මෙම ප්‍රකාශය කළ බව සැකකරු පවසා තිබුණද, එම තොරතුරුකරුගේ නම අනාවරණය කර නොමැත. සැකකරු සඳහන් කළ ප්‍රදේශයේ දෙමළ ජනතාව අනවසරයෙන් පදිංචි වී වගා කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පලෙයි පොලිසිය කරුණු වාර්තා කර ඇති අතර, ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකු විසින් අදාළ රක්ෂිතයේ නීති විරෝධී ලෙස ගොවිපළක් සහ ඇඟලුම් කම්හලක් ඉදිකිරීමට එරෙහිවද නඩු පවරා තිබේ. ප්‍රකාශයට අදාළ ප්‍රදේශය පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති අතර, සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 490, 485, 454, 459 යන වගන්ති සහ පොලිස් ආඥා පනත යටතේ නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබේ.




මෙවැනි ප්‍රකාශ මගින් ජාතීන් අතර අසමගිය ඇති වන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කරුණු වාර්තා නොකරන්නේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසා සිටි අතර, ඒ පිළිබඳ ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය පැවසීය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදර්ශනී ගුණරත්න මහත්මිය ඇප ඉල්ලීමක් කළද, බෝම්බ කම්හලක් තිබෙන බවට කළ ප්‍රකාශයේ බරපතළකම අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, අධිකරණ පරිශ්‍රයේ බෝම්බ හදන බවට ප්‍රකාශ කළහොත් ඇතිවන තත්ත්වය උදාහරණයකට ගනිමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ බරපතළ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරන ලෙස පොලිසියට නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු විය.

No comments:

Post a Comment

Pages