
මත්ද්‍රව්‍ය පානය කිරීමේ ඇබ්බැහිය සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් හොරණ නගරයේ නවතා තිබූ ත්‍රිරෝද රථ ඇතුළු රථවාහනවල කැබින් කඩා මුදල් සහ ජංගම දුරකථන සොරාගත් බවට සැකකෙරෙන ‘දිහේනගම බිංදුවා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු හොරණ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
හොරණ නගරයේ විවිධ ස්ථානවල ගාල් කර තිබූ රථවාහනවලින් මෙලෙස වටිනා භාණ්ඩ සහ මුදල් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් පදනම් කරගනිමින් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. අපරාධ සිදු වූ ස්ථාන ආශ්‍රිතව සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරමින් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.
සොරාගත් ජංගම දුරකථනයක රහස් අගුල ඉවත් කරගැනීම සඳහා සැකකරු ඉලිඹ ප්‍රදේශයේ පිහිටි ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයකට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇති වූ සැකය මත අදාළ කටයුත්ත සිදුකිරීම එම ස්ථානයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. පසුව සිදුකළ සෙවීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ ජංගම දුරකථනය මොරටුව ප්‍රදේශයේ ස්ථානයකට උකස් කිරීමට සැකකරු කටයුතු කර ඇති බවයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී ඔහු මීට පෙරද සොරකම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ 42ක් වෙනුවෙන් චෝදනා ලැබූ පෙර වැරදිකරුවෙකු බව හෙළි වී ඇත. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින මොහු, සිය දෛනික මත්ද්‍රව්‍ය අවශ්‍යතාව සපයා ගැනීමට දිනකට රුපියල් 4000කට ආසන්න මුදලක් මෙලෙස සොරකම් කරමින් සොයාගෙන ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් තහවුරු විය.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය පියවර සඳහා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
No comments:
Post a Comment