බන්ධනාගාර නොසන්සුන්කාරී තත්ත්වයන් පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක් - Lanka News Click 24x7

බන්ධනාගාර නොසන්සුන්කාරී තත්ත්වයන් පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්

Share This
an-organized-conspiracy-behind-the-prison-unrest

දිවයින පුරා පිහිටි බන්ධනාගාර කිහිපයක ඇති වූ ගැටුම් සහ නොසන්සුන්කාරී තත්ත්වයන් පිටුපස විශාල සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙරට බන්ධනාගාර පහක කැරලි හටගත හැකි බවට බුද්ධි අංශ කළ හෙළිදරව්වෙන් දින කිහිපයකට පසුව, කොළඹ මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාරවල මෙලෙස එකවර නොසන්සුන්තාවන් හටගෙන ඇත.

මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.




කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් කිසියම් පිරිසක් විසින් විසිකරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගැනීමත් සමඟ රැඳවියන් දෙපිරිසක් අතර මුලින්ම නොසන්සුන්තාව ආරම්භ වී ඇත. එහිදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික "කොස්මල්ලි" නැමැත්තාගේ සහායකයින් ඇතුළු 40 කට අධික රැඳවියන් පිරිසක් සිරමැදිරියක් කඩාගෙන පිටතට පැමිණ, නිලධාරීන්ට තර්ජනය කරමින් බන්ධනාගාර ගේට්ටුවෙන් පිටතට යාමට උත්සාහ කර තිබේ. පසුව ඇති වූ දැඩි කලහකාරී තත්ත්වය අතරතුර සිදුවූ පහරදීම්වලින් හෝමාගම කටුවන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සහ මීගමුවේ සිදුවූ ද්විත්ව ඝාතන ඇතුළු අපරාධ කිහිපයකට චෝදනා ලැබූ, "හෝමාගම හඳයා" නැමැත්තාගේ කොන්ත්‍රාත් වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියාකළ අයෙකි. පසුව උදෑසන කාලයේදීත් නැවතත් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාර ගොඩනැගිලිවලට හානි සිදුකර ඇති අතර, මෙම සිදුවීම්වලින් තුවාල ලැබූ රැඳවියන් 10 දෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

මේ අතර කුරුවිට බන්ධනාගාරයේදී ද රැඳවියන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, කෝපයට පත් රැඳවියන් එහි රෝහලට සහ ගොඩනැගිලි කිහිපයකට පහරදී දැඩි හානි සිදුකර තිබේ. මීගමුව බන්ධනාගාරයේ සිට කුරුවිට බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියන් දහසකට අධික පිරිස අතර පහසුකම් මදි බව කියමින් ආරම්භ වූ උද්ඝෝෂණයක් මෙම ගැටුමට මුල් වී ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී තුවාල ලැබූ රැඳවියන් 15 දෙනෙකු අතුරින් දෙදෙනෙකු පසුව මියගොස් ඇති අතර තවත් තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්තා වේ.




මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ ද උදෑසන ආහාර ලබාදීමට සිරමැදිරිවලින් පිටතට ගත් අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගනිමින් නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මතට නැග විරෝධතාවයේ යෙදී ඇති අතර පසුව ගේට්ටුව අසලට පැමිණ කලහකාරී ලෙස හැසිරීමට පටන්ගෙන ඇත. පොලීසිය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව එක්ව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් තත්ත්වය පාලනය කළ අතර, එහිදී තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

මීට පෙර මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළු 31 දෙනෙකු ද, මහර බන්ධනාගාරයේ ගැටුම්වලින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා තිබිණි. පවතින තත්ත්වය හමුවේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර රට පුරා පිහිටි බන්ධනාගාරවලට ආරක්ෂාව සපයා ඇති බව ඇමැති හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි. එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඉදිරි සතියේදී ඒකාබද්ධ ආරක්ෂක යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Pages