පොලිස්පති පාරේ මරාදමාවි කී සාගර මට්ටු කර ගෙදර යවයි - Lanka News Click 24x7

පොලිස්පති පාරේ මරාදමාවි කී සාගර මට්ටු කර ගෙදර යවයි

Share This
the-inspector-general-of-police-kills-sagara-on-the-road-and-sends-him-home

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මුල් කරගනිමින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.




පසුගිය අගෝස්තු 03 වනදා පැවැති මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයාට තර්ජනය වන පරිදි ප්‍රකාශයක් කළ බවට එල්ල වූ චෝදනාවලට අදාළව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අගෝස්තු 10 වනදා පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස්පතිවරයා මෙන්ම විහාරාධිපතිවරුන් තිදෙනෙකු විසින් කරන ලද පැමිණිලි පදනම් කරගනිමින් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් යටතේ මෙලෙස චෝදනා ගොනුකර තිබූ අතර, වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අගෝස්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව යටතේ හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදු වූ බවත්, වත්මන් පොලිස්පතිවරයා ආණ්ඩුවට සේවය කිරීම නවත්වා මහජනතාවට සේවය කළ යුතු බවත්ය. එමෙන්ම මහපාරේ මිනිසුන්ගෙන් ගුටි කෑමෙන් මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ඔහු ඉතිහාසගත නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබුණේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනයට පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටින මොහොතක, දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයෙකු කළ මෙම ප්‍රකාශය හිතාමතා සැලසුම්සහගතව සිදුකළ බරපතල එකක් බවයි.




පස්වරුවේ කඩුවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් කිරීම් පස්වරු 4.30 ට අවසන් වූ අතර, පැය තුනකට ආසන්න කාලයකට පසුව මහෙස්ත්‍රාත්වරයා පිටු 17 කින් යුත් ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය. පොලිසිය ගොනු කළ චෝදනා අධිකරණය හමුවේ තහවුරු කිරීමට අපොහොසත් වීම ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා, අනුබල දීම සහ තැත් කිරීම වැනි චෝදනා ස්වාධීනව පවත්වාගෙන යා නොහැකි බවත්, ඉදිරිපත් වූ කරුණුවලින් චෝදනා පැහැදිලිව ගම්‍ය නොවන බවත් පෙන්වා දුන්නේය.

සැකකාර සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නේ අදාළ ප්‍රකාශයේ කොතැනකවත් මරණ තර්ජනයක් කර නොමැති බවත්, චෝදනා සියල්ල ඇප දිය හැකි මට්ටමේ පවතින බවත්ය. මෙහිදී දේශපාලන නායකයෙකු භාවිත කළ යුතු ශිෂ්ට සම්පන්න භාෂාව සහ ප්‍රකාශයේ බරපතලකම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු වූ අතර, විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා සැකකරුගෙන් විමසා අදාළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පතිවරයා වෙත කනගාටුව පළ කිරීමට කටයුතු කළේය.



ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරු රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටත්, විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටත් නියෝග කළේය. එමෙන්ම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන සැප්තැම්බර් 24 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට නියෝග කර සිටියේය.

No comments:

Post a Comment

Pages