
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ ඊයේ (24) ව්යාජ ප්රචාරයක් යවා තිබූ අතර මෙම ආරංචිය කෙතරම් දුර පැතිරගියේද යත් එය අසත්ය බවට ජනපති මාධ්ය අංශයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට තරම් හේතුවක් විය. මෙම ප්රචාරය එක්තරා දේශපාලන කණ්ඩායමක් මගින් සමාජ මාධ්ය වෙත යොමු කර ඇති බවටත් එයට පසුබිම් වන්නේ 'මැටි බෝනික්කංට කටු ගැසීමේ' මිථ්යා දෘෂ්ඨික යාගයක ප්රතිඵල ලැබුණ බවට එම කණ්ඩායමේ පාක්ෂිකයන්ට ඒත්තු ගන්වා සතුටක් ලබාදීමට බවත් මේ වනවිට සිදුව ඇති විමර්ශන වලින් අනාවරණය වේ.
පසුගියදා විහාරමහාදේවී උද්යාන සත්යග්රහ පරිශ්රයට පැමිණි පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්ර හිමි මහසෝනා ලවා මේ කියන යාගය කරවා තිබූ අතර ජනපති අනුර කුමාරගේ රුවට සමාන මැටි රුවක් අඹා එයට උගුරැස්සා විෂ කටු ගසමින් එම ජීවියාට විපතක් සිදුවන ආකාරයට මන්තර ජපකරමින් දෙස් දෙවුල් තැබීමක් එහිදී සිදුවිය. බුදු දහමට කිසිසේත් සම්බන්ධයක් නොමැති සේම බුද්ධ දර්ශනය මගින් ප්රතික්ෂේප කරන වෛරී චේතාන්විත මෙම ක්රියාව සාධාරණීකරණය කරමින් එම අවස්ථාවේ කථා කළ සිරිධම්ම හිමි ඒ ගැන මෙසේ විස්තර කර තිබුණි.
"අපේ ගම්පලාත් වල අපි ඉන්නකොට අපි විශ්ව විද්යාලයට ගිහිල්ල උපාධි විතරක් ගත්තේ නෑ. අපි ගමේ තිබිච්ච ගුරුකම් අනන් මනන් ඔක්කෝම ටික ඉගෙන ගත්තා. වස් කවි, සෙත් කවි, හොඳ ඒවා, නරක ඒවා ඉගෙන ගත්තා. හැබැයි අපට ඒවා කරන්න තැනක් හම්බු වුණේ නෑ. හිටිය ගමන් තැනක් ආපු ගමන් ටක් ගාල කරලා බලනවා ඇත්තද බොරුද කියලා.
දැන් ටෙස්ට් කරනවා. මම ටෙස්ට් කරනවා මේවා. දැන් දෙසැම්බර් 31 එකපාරක් ටෙස්ට් කරා. හරියට හරි. අද වෙන එකක් ටෙස්ට් කරලා බලන්නේ. අපි විශ්වාස කරනවා මේ අහසේ පොළොවේ ශක්තිය තියෙනවා කියලා. ඒ ශක්තිය තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. ඒ ශක්තියත් එක්ක අපේ ශක්තිය එකතු කරනවා.
එතුකලා අපට කරගන්න බැරි වැඩ, මිනිස්සුන්ට කරන්න බැරි වැඩ, මේ අදෘශ්යමාන බලවේග ලව්වා අපි කරවනවා. ඒක ඉතින් අපි හැමෝම ඒක කියන්න ඕනේ නෑ.
අනික දැන් මේ හදලා තියෙන ඒවා ඕගොල්ලෝ හැමදාම දැකලා තියෙනවා. ලෝකයේ දකුණු අප්රිකාවේ. දකුණු අප්රිකාවෙත් ඔය රූප කටු ගැසිල්ල තියෙනවා.
අදත් අපි මේ මැටි ගෙනැල්ලා, රූපයක් හදලා, උගුරැස්ස කටු ගෙනැල්ලා, විෂ කටු ගෙනැල්ලා, මේ කටු ගහන්න හදන්නේ. ඕක මම කලිනුත් ගැහුවා. අපිට හොඳට අත්දැකීම් තියෙනවා. අපි අපි කරන ඒවා නිකන් නෙමෙයි.
හේතුවක් තියෙනවා. මේ රටට ජාතියට විපතක් වෙනකොට, කරදරයක් වෙනකොට අපි ඒවා කරලා, මේ අදෘශ්යමාන බලවේගයන්ට ආරාධනා කරනවා. මේ අවුරුදු දෙදහස් ගාණක් තිස්සේ අපේ පහත් රටට පුද ලබන ප්රධානම යක්ෂයා තමයි මහාසෝන් දේව, සිද්ධ මහාසෝන් දේවතාවා.
තිස් දහසක් පිරිවර වට කරගෙන වැඩ සිටින, යකුන් යක්ෂණියන් පිරිවරාගෙන සිටින, මහාසෝන් දේවතාවාට අපි ආරාධනා කරනවා. තව ආරාධනාවක් කරනවා.
දෙවියන්ට විතරක් නෙමෙයි කුම්භාණ්ඩයෝ ඉන්නවා. ඊට පස්සේ බහිරවයෝ ඉන්නවා. ඒ ඔක්කොටම අපි දිස්ටි කරනවා ගෙන්නලා අපිට මොනවත් ඉල්ලන්නේ නෑ. අපිට කරගන්න දෙයක් නෑ. අපි කියන්නේ මේ මිනිසුන්ගේ ප්රශ්න විසඳලා, මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඒක කරලා දීලා, ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරලා, දැන් ඒගොල්ලන්ගේ වෙලාව."
මෙම ක්රියාවෙන් පසුව සිරි සමන්ත භද්ර හිමි මල්වතු විහාරයට ගෙන්වා අවවාද කරන්නට මල්වතු විහාරාධිපති නාහිමියෝ කටයුතු කළහ.ඉන්පසු ඒ හිමියන් නිහඩ විය.
ශ්රී ලංකාවේ සාම්ප්රදායික ගැමි සමාජය සහ අභිචාර විධි පිළිබඳව හැදෑරීමේදී "හදි හූනියම් සහ කොඩිවින" අතර පොදු ව්යවහාරයේ "හූනියම් බෝනික්කා" ලෙස හඳුන්වන රුවක් කෙහෙල් කොළයක් මත තබා මන්තර කියා අපේක්ෂා කරන්නේ යම් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් සතුරා විනාශ කිරීමේ හෝ රෝගාතුර කිරීමේ චේතනාවෙනි.
ගුප්ත විශ්වාසයන්ට අනුව, මෙම බෝනික්කා මඟින් සංකේතවත් කරන්නේ අදාළ සතුරාගේ ශරීරයයි. බෝනික්කාගේ කුමන ස්ථානයකට කටු ගසනු ලබන්නේද, එම ස්ථානයට අදාළව සැබෑ ශරීරය තුළ දරුණු වේදනාවන් හෝ අංශභාග වැනි ආබාධ ඇති වන බව මෙහි එන මූලික විශ්වාසයයි.
නූතන විද්යාව හෝ වෛද්ය විද්යාව මඟින් මෙවැනි බාහිර ශාප කිරීම් හරහා කෙනෙකු ලෙඩ කළ හැකි බව කිසිසේත්ම පිළිගන්නේ නැත. එහෙත්, යම් පුද්ගලයෙකු තමන්ට හූනියමක් කර ඇති බව දැනගතහොත්, එමඟින් ඇති වන දැඩි මනෝවිද්යාත්මක බිය සහ ආතතිය (Nocebo Effect) හේතුවෙන් ඔහු සැබවින්ම රෝගාතුර වීමේ ප්රවණතාවක් පවතින බව පමණක් සමීක්ෂණ වලින් පෙන්නුම් කර ඇත.
ඊර්ෂ්යාව සහ පළිගැනීමේ චේතනාව පෙරදැරි කරගත් මෙම ක්රියාව සාර්ථකවූ බව පෙන්වන්නට ජනපති අනුර කුමාර අසනීපව රෝහල් ගත කළ බවට ප්රචාරයක් යවා තිබෙන්නේ මිථ්යා දෘෂ්ටිකයින්ගේ වින්දනය පිණිස වන බව පෙනෙන්නට තිබේ.
No comments:
Post a Comment