ජපානයේ PR ගාස්තු විසි ගුණයකින් ඉහළට - Lanka News Click 24x7

ජපානයේ PR ගාස්තු විසි ගුණයකින් ඉහළට

Share This
pr-fees-in-japan-have-increased-twenty-fold

විදේශිකයන් සඳහා ස්ථිර පදිංචිය (Permanent Residency) ලබාදීමේ අයදුම්පත් ගාස්තුව විසි ගුණයකින් ඉහළ දැමීමට ජපාන රජය පියවර ගෙන තිබේ. ඒ අනුව මීට පෙර පැවති ගාස්තුව ජපන් යෙන් 200,000ක් (ඇමරිකානු ඩොලර් 1,270ක් හෙවත් බ්‍රිතාන්‍ය පවුම් 955ක්) දක්වා සංශෝධනය කර ඇති අතර, ඊට සමගාමීව ආදායම් මට්ටම, විශ්‍රාම වැටුප් දායකත්වය සහ ජපන් භාෂා ප්‍රවීණතාව සම්බන්ධයෙන් නව දැඩි කොන්දේසි මාලාවක් ද හඳුන්වා දී ඇත.




මෙම ගාස්තු ඉහළ දැමීම බලාත්මක වීමට පෙර අයදුම්පත් භාරදීමේ අරමුණින් පසුගිය සතියේ එරට ආගමන විගමන කාර්යාල ඉදිරිපිට දැඩි තදබදයක් සහ දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, ටෝකියෝවේ ප්‍රධාන ආගමන විගමන කාර්යාංශයේ පමණක් රැඳී සිටීමේ කාලය පැය හත ඉක්මවා ගිය බව වාර්තා විය. වේගයෙන් ඉහළ යන විදේශික ජනගහනය කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් අගමැතිනී සනායි ටකායිචිගේ (Sanae Takaichi) නායකත්වයෙන් යුත් රජය විසින් ක්‍රියාත්මක කරන ලද සංක්‍‍රමණික ප්‍රතිපත්ති සංශෝධන මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

මීට පෙර පසුගිය ජූලි මාසයේදී ද වසර 50කට පසු පළමු වරට සියලුම විදේශිකයන් සඳහා වන වීසා ගාස්තු පස් ගුණයකින් ඉහළ දැමීමට ජපානය කටයුතු කළ අතර, උද්ධමනය සහ විනිමය අනුපාත උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බව බලධාරීහු සඳහන් කළහ. ජපානය තුළ සංක්‍රමණික ප්‍රතිපත්ති දේශපාලනික වශයෙන් දැඩි සහ සංවේදී මාතෘකාවක් වුවද, එරට වයස්ගත වන ජනගහනය හමුවේ උද්ගතව ඇති ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා විදේශීය ශ්‍රමිකයන් මත දැඩිව යැපීමට සිදුව ඇත. 2025 වසර අවසන් වන විට එරට විදේශික පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 4.12 ඉක්මවා ගිය අතර, එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 9.5ක වාර්තාගත වර්ධනයකි. මෙම ශීඝ්‍ර වර්ධනයත් සමඟ සංක්‍රමණය සහ ඒ ආශ්‍රිත සමාජයීය වෙනස්කම් පිළිබඳව ජපන් ජනතාව අතර යම් කනස්සල්ලක් ද මතු වී තිබේ.




පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ධුරයට පත්වීමෙන් අනතුරුව ආගමන විගමන කටයුතු නියාමනය කිරීම සිය ප්‍රධාන ප්‍රමුඛතාවක් කරගත් අගමැතිනී ටකායිචි, නව ගාස්තු ක්‍රියාත්මක වීමට දින කිහිපයකට පෙර ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ විදේශික ජනගහනය ඉහළ යාමත් සමඟ ජනතාව තුළ ඇතිවන අසාධාරණත්වය හෝ කනස්සල්ල පිළිබඳ හැඟීම රජය අවබෝධ කරගෙන සිටින බවයි. එම කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, විදේශිකයන් සම්බන්ධ ප්‍රතිපත්ති විධිමත් සහ පිළිවෙළකට පවත්වාගෙන යාමටත්, ජපන් පුරවැසියන්ට මෙන්ම විදේශිකයන්ට ද සුරක්ෂිතව ජීවත් විය හැකි පසුබිමක් සහතික කිරීමටත් රජය ක්‍රියා කරන බව ඇය එහිදී පෙන්වා දුන්නාය.

පැවති ක්‍රමවේදයට අනුව ස්ථිර නොවන පදිංචිකරුවන්ට තම වීසා තත්ත්වය වෙනස් කිරීමට හෝ රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට අයදුම් කිරීමේදී වැය වූයේ යෙන් 6,000ක මුදලක් පමණි. කෙසේ වෙතත්, ඔක්තෝබර් 1 වන දා සිට අදාළ ගාස්තු ඉල්ලුම් කරන කාල සීමාව අනුව වෙනස් වන පරිදි සකස් කර ඇති අතර, මාස තුනක් හෝ ඊට අඩු කාලයක් සඳහා යෙන් 10,000ක් ද, වසර පහක් හෝ ඊට වැඩි කාලයක් සඳහා යෙන් 75,000ක් ද වශයෙන් අය කෙරේ. ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන පුද්ගලයන්ට මෙන්ම සරණාගත තත්ත්වය හිමිවූවන්ට මේ සඳහා සහන ලබාදීමට නියමිතය.



නව නීති යටතේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන විදේශිකයන් ජපානයේ සාමාන්‍ය මට්ටමට සමාන හෝ ඊට වැඩි ස්ථාවර ආදායමක් උපයන්නන් වීම අනිවාර්ය කර තිබේ. ජූලි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්ත අනුව 2024 වසර වන විට එරට සාමාන්‍ය වාර්ෂික ගෘහස්ථ ආදායම යෙන් මිලියන 5.75ක් ලෙස සටහන් වේ. වසර 10ක් පුරා ටෝකියෝවේ ජීවත්වෙමින් සේවය කරන 37 හැවිරිදි මිකායා ස්ටීවන්ස් (Micaiah Stevens) ප්‍රකාශ කර ඇත්තේ, මිල ඉහළ යාමට පෙර අයදුම්පත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලිපිලේඛන සකස් කර ගැනීමට තමන්ට නොහැකි වූ බවයි. තවදුරටත් අයදුම් කිරීමට අදහස් කළ ද නව ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රශ්න කරන ඔහු, සාමාන්‍ය ජපන් ජාතිකයෙකුට වඩා උපයා ගැනීමට නියම කරමින්, ඉහළ ගාස්තුවක් අය කරමින් විදේශිකයන්ව පහසු මෙවලමක් ලෙස භාවිත කරන බවක් හැඟෙන බවත්, පවතින භාෂා හා සංස්කෘතික බාධක හමුවේ මෙය දිගුකාලීනව සිතා බලා ගත් තීරණයක් ලෙස නොපෙනෙන බවත් මාධ්‍ය වෙත පවසා ඇත.

ලබන වසරේ අප්‍රේල් මස සිට ස්ථිර පදිංචි අපේක්ෂකයින් සඳහා මූලික ජපන් භාෂා ප්‍රවීණතාව ද අනිවාර්ය වන අතර, මේ හේතුවෙන් එරට භාෂා පාසල්වලට සිසුන් ඇතුළත් වීම මෙන්ම ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT) සඳහා ලියාපදිංචි වීම ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඊට අමතරව, අයදුම්කරුවන් වසර 30ක කාලයක් එරට සේවක විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වූ අයෙකුට හිමිවන විශ්‍රාම වැටුප් ප්‍රතිලාභවලට සමාන අපේක්ෂිත හිමිකමක් පෙන්විය යුතු වන අතර, එම අගය ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ඔවුන් සතු මූල්‍ය වත්කම්වල වටිනාකම කෙරෙහි ද අවධානය යොමු කෙරේ.

No comments:

Post a Comment

Pages