මොරටුව, සොයිසාපුර ප්රදේශයේ 'ලක් මධුර හෝටලය' නම් අවන්හලකට ඊයේ (20) රාත්රී 8.20ට පමණ කඩා වැදුණු සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්රහාරයකින් එම අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ටී 56 ගිනි අවියක් යොදාගනිමින් සිදුකර ඇති මෙම අපරාධයේදී, ඒ වන විටත් අවන්හලේ ආහාර ගනිමින් සිටි කාන්තාවක් ද තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පොලිසිය සඳහන් කරන ආකාරයට, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩික්කරුවන්ගේ ඍජු ඉලක්කය වී ඇත්තේ අවන්හල් හිමිකරුවාය. වෙඩි ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, එහිදී ඔහු මියගොස් තිබුණි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සොයිසාපුර ප්රදේශයේම පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම පළා ගොස් ඇති අතර, එම ගමන අතරතුරදී පිළියන්දල, සුවාරපොළ ප්රදේශයේදී ඔවුන්ගේ රථය හදිසි කාර්මික දෝෂයකට ලක්ව ඇත. එහිදී සිය වාහනය එම ස්ථානයේම අත්හැර දමා ඇති වෙඩික්කරුවන්, ඒ අසලින් ගමන් ගත් යතුරුපැදිකරුවෙකුව බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තබා ඔහුගේ යතුරුපැදිය පැහැරගෙන පලාගොස් තිබේ.
එලෙස පැහැරගෙන පළාගිය යතුරුපැදිය ද පසුව සිද්ධමුල්ල ප්රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය තහවුරු කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වන විටත් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.
No comments:
Post a Comment