
ඉඩම් ආරවුලක් මුල්කරගනිමින් සිය වැඩිමහල් සහෝදරයා ඝාතනය කර ළිඳකට දැමීමේ අබිරහසක් වසර පහකට පසු අනාවරණය කර ගැනීමට මීටියාගොඩ පොලිසිය සමත් වී තිබේ. ඒ අනුව, මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන මියගිය පුද්ගලයාගේ 49 හැවිරිදි බාල සහෝදරයා පසුගිය 17 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් විය.
මෙම ඛේදවාචකයේ ආරම්භය සනිටුහන් වන්නේ 2021 වසරේදීය. මීටියාගොඩ, ඇත්තඩිය, කිරලගහවෙල ප්රදේශයේ පදිංචිව සිටි සිය පියා හදිසියේ අතුරුදන් වී ඇති බව පවසමින් ඔහුගේ දියණියක විසින් 2021 ජුනි 02 වැනිදා මීටියාගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. අදාළ පැමිණිල්ලෙන් දින කිහිපයකට පසු, අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අසල පිහිටි ළිඳක් තුළ තිබී හමුවීමත් සමඟ එය අබිරහස් ඝාතනයක් බවට පත් විය.
වසර ගණනාවක් පුරා නොවිසඳී තිබූ මෙම ඝාතන විමර්ශනයට නව මුහුණුවරක් එක්වන්නේ මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතාට ලැබුණු තොරතුරක් සමඟිනි. එම තොරතුර ඔස්සේ යළිත් වරක් ආරම්භ කළ දීර්ඝ විමර්ශනයේ ප්රතිඵලයක් ලෙස, වසර පහකට පසු සැකකාර බාල සහෝදරයා නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලිසියට හැකි විය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඝාතනය සඳහා යොදාගත් බව කියන යකඩ පොල්ලක් ද පොලිසිය මගින් සොයාගෙන තිබේ.
මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ඩී. එල්. ඒ. නයනජිත් මහතාගේ උපදෙස් මත, අත්අඩංගුවට ගත් සැකකරු බලපිටිය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
No comments:
Post a Comment