ලක්මධුර හෝටල් හිමිකරු ඝාතනය 'පොලී මුදල්' ප්‍රශ්නයක් - Lanka News Click 24x7

ලක්මධුර හෝටල් හිමිකරු ඝාතනය 'පොලී මුදල්' ප්‍රශ්නයක්

Share This
murder-of-lakmadura-hotel-owner-is-a-matter-of-interest-money

වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ මෙරට සිදුවූ වෙඩි තැබීම් 44ක් අතරින් 39ක්ම මෙහෙයවා තිබුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසිනි. එම ප්‍රහාරවලින් පුද්ගලයන් 26 දෙනකුට දිවි අහිමි වී තවත් 23 දෙනකු තුවාල ලබා සිටියදී, මරණයේ සෙවණැල්ල යළිත් වරක් මොරටුව සොයිසාපුර ප්‍රදේශයට කඩා වැදුණේ පෙරේදා (20 වැනිදා) රාත්‍රියේය.




වේලාව රාත්‍රී 8.30ට පමණය. සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ආපනශාලාවකට හදිසියේම කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයකු එහි අයකැමි අසුන අසල සිටි හෝටල් හිමිකරුගේ හිසට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පළා ගියේය. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හෝටලයේ ආහාර ගනිමින් සිටි කාන්තාවක ද වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබුවාය. කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගෙන යන විටත් හෝටල් හිමිකරු සිය ජීවන ගමන නිමා කර තිබිණි.

මෙසේ ඝාතනයට ලක්වූයේ මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි පින්නවල අප්පුහාමිලාගේ ලසන්ත කුමාර නැමැති 49 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔහු පැලඳ සිටි පවුම් දහයක රන් මාලයද අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.




ලසන්ත කුමාරට පාතාලයේ ගිනි අවි එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර 2020 වසරේ මැයි 18 වැනිදා සහ මැයි 29 වැනිදා ද ඔහු ඉලක්ක කර වෙඩි තැබීම් දෙකක්ම සිදුවිය. දෙවැනි ප්‍රහාරයේදී ඔහුගේ හෝටලයට පහර දී එහි වීදුරු, රූපවාහිනී යන්ත්‍ර සහ පුටු 03ක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබුණේ හෝටලයේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබියදීය. මරණීය තර්ජන හමුවේ සිය ව්‍යාපාර කටයුතු අතහැර දුර බැහැර ප්‍රදේශයකට පළාගොස් සිටි ඔහු යළිත් සොයිසාපුරයේ සිය හෝටලය ආරම්භ කරන්නේ, ඔහුට තර්ජනය කළ පාතාල නායකයකු වන ඇල්ටෝ ධර්මේ මීට මාස කිහිපයකට පෙර ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුවය. එහෙත් එම නිදහස වැඩි කල් පැවතුණේ නැත.

මෙම ඝාතනය පිටුපස ඇත්තේ විවිධ දිශාවන්ට විහිදී ගිය සංකීර්ණ සැකයන් රැසකි. කාලයක් තිස්සේ රත්මලානේ අංජු හෙවත් කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මේ විසින් මෙම ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කර තිබිණි. මුලදී ප්‍රතිවාදී පාතාල නායකයකු වූ ගොනාකෝවිලේ රොහා සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් ධර්මේ සහ අංජු මොහුට ප්‍රහාර එල්ල කළද, පසුකාලීනව ඔහු එම අපරාධකරුවන් සමගද සමීප සබඳතාවක් ගොඩනගාගෙන තිබූ බවට විමර්ශන මගින් අනාවරණය වී ඇත.



මෙම දෙබිඩි සබඳතාව හේතුවෙන් ගොනාකෝවිලේ රොහාගේ පාර්ශ්වය ඔහු සමග දැඩි විරසකයකින් පසුවී තිබේ. දෙපාර්ශ්වය අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධ ආරවුලක් පැවති බවද පැවසෙන අතර, රොහාගේ පාර්ශ්වයේ ප්‍රබල අපරාධකරුවකු වන රසල් ස්මිත් නැමැත්තාගෙන් ව්‍යාපාරිකයාට මරණ තර්ජන එල්ල වී තිබුණේ ඒ අතරතුරය. මෑතකදී ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකුගේ සහෝදරයකු වන සංගු නැමැත්තා සහ රසල් ස්මිත් අතර ගිනි අවි ජාවාරම සහ පාතාලය ගැන කෙරුණු සාකච්ඡාවක හඬපටයක් පිටවීමත් සමග අර්බුදය තවත් උත්සන්න විය. අදාළ හඬපටය පිටතට ලබා දුන්නේ මෙම ව්‍යාපාරිකයා බවට සැක කරමින්, රසල් ස්මිත් විසින් අයි.ඩී. නැමැති සංවිධානාත්මක අපරාධකරු ලවා මෙම ඝාතනය කරවන්නට ඇත්දැයි විමර්ශන නිලධාරීන්ට ප්‍රබල සැකයක් මතුව තිබේ. එසේම අංජු සහ ධර්මේ විසින් බොරු හිතවත්කමක් මවාපා මෙය ඔවුන්ගේ සැලසුමකට අනුව මෙහෙයවූවාද යන්න පිළිබඳව ද විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇත.

මෙම පාතාල ගැටුම්වලට අමතරව තවත් ප්‍රබල සැකයක් විමර්ශන අංශ වෙත පවතී. ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා දැඩි පොලියට මුදල් ණයට දීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් ඇති අතර, ණය ගෙවාගත නොහැකි වූ පුද්ගලයන්ගේ නිවාස, ඉඩකඩම් සහ යාන වාහන බලහත්කාරයෙන් සින්නකරගෙන තිබූ බවට තොරතුරු ලැබී ඇත. මේ හේතුවෙන් අන්ත අසරණභාවයට පත්වූ වෛරක්කාර පාර්ශ්වයක් කුලී ඝාතකයන් යොදවා මෙම අපරාධය සිදු කළාද යන්න පිළිබඳව ද පොලිසිය දැඩි අවධානයෙන් පරීක්ෂණ මෙහෙයවයි. ඊට අමතරව ඔහු තවත් විවිධ නීති විරෝධී ක්‍රියාවල නිරතවූ අයකු බවටද තොරතුරු අනාවරණය වේ.



වෙඩි ප්‍රහාරයෙන් පසුව කුලී ඝාතකයන්ගේ පළායාම දැඩි කලබලකාරී ස්වභාවයක් ගෙන තිබිණි. නිසාන් වර්ගයේ මෝටර් රථයක නැගී පිළියන්දල දෙසට ධාවනය කළ ඔවුන්ගේ රථය මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී යතුරුපැදියක ගැටී අනතුරට ලක්වුවද ඔවුහු නොනවත්වාම ඉදිරියට ඇදී ගියහ. එහෙත් පිළියන්දල සුවාරපොළ බෝධිය අසලදී මෝටර් රථයේ ඉදිරිපස රෝදයේ හුළං බැස කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු ඔවුන්ට රථය අතහැර දැමීමට සිදුවිය. මහමග ධාවනය වූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් නතර කිරීමට උත්සාහ කළද එය නොනැවැත්වීම හේතුවෙන් ඝාතකයෝ ලොරි රියැදුරුට වෙඩි තැබූහ. ඉන් රියැදුරුට අනතුරක් සිදු නොවූ අතර ඔහු පළා ගියේය. අනතුරුව ඒ ආසන්නයේ රැඳී සිටි පික්මී කුලී යතුරුපැදිකරුවකු බිය ගන්වා අහසට වෙඩි තබා එම යතුරුපැදිය කොල්ලකාගත් ඔවුහු ඉන් පළා ගියහ.

එසේ කොල්ලකාගත් යතුරුපැදියද පිළියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේදී ඉන්ධන අවසන් වීමෙන් නතර වී ඇති අතර, සැකකරුවන් යතුරුපැදිය එහි දමා පළාගොස් තිබේ. විමර්ශනවලින් හෙළිවී ඇත්තේ එතැන් සිට ඔවුන් කොට්ටාව සිට පිළියන්දල බලා ධාවනය වූ බස් රථයක නැගී පළාගොස් ඇති බවයි. ප්‍රහාරයට පැමිණි මෝටර් රථය, කොල්ලකාගත් යතුරුපැදිය සහ අපරාධය සිදුකළ ස්ථානයේ වැටී තිබූ ටී 56 හිස් කොපු හතරක් පොලිසිය විසින් ඊයේ සොයාගනු ලැබ ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ඝාතනය සිදුවූ දින රාත්‍රියේම අපරාධ ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි අතර, ඔහුගේ සහ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකරගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් ද මේ වන විටත් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත. සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ, ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ යන නිලධාරීහු මෙම විමර්ශන සඳහා එක්ව සිටිති. කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, තවමත් අබිරහසක්ව පවතින මෙම ඝාතනය පාතාලයේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ද, නැතහොත් දේපළ අහිමි වූවන්ගේ පළිගැනීමක් ද යන්න සෙවීමට විමර්ශන අංශ දැඩි වෙහෙසක් ගනිමින් සිටී.

murder-of-lakmadura-hotel-owner-is-a-matter-of-interest-money

murder-of-lakmadura-hotel-owner-is-a-matter-of-interest-money



murder-of-lakmadura-hotel-owner-is-a-matter-of-interest-money

murder-of-lakmadura-hotel-owner-is-a-matter-of-interest-money

gossiplanka image

No comments:

Post a Comment

Pages