ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ රුපියල් මිලියන 10ක මුදලක් "සිරිලිය සවිය" ගිණුමට බැර කිරීම පිළිබඳ විමර්ශනයේදී සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළා. ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් එදින දක්වා නිකුත් කරන්නේ නැති බවත් අධිකරණය දන්වා සිටියා.
ඇය දැනට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබනවා.කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, පළමු සැකකරු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අධිකරණයට පැමිණ සිටියා. ශිරන්ති රාජපක්ෂ රෝහල්ගතව සිටින බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැන්වූ නිසා ඇය අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, සේවාදායිකාව හෘද රෝගියෙක් බවත්, වාහිනී තුනක් අවහිර වී ඇති බවත්, ඇය විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් සිටින බවටත් ප්‍රකාශ කරමින් එය "සුවිශේෂී කරුණක්" ලෙස සලකා ඇප දෙන ලෙස ඉල්ලා සිටියා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ඇය රෝහල්ගත වූ බව පිළිගත්තත් සැත්කමක් පිළිබඳ නිල දැනුම්දීමක් නොමැති බව කීවා. ඒ අවස්ථාවේ අනිල් සිල්වා ආවේගශීලීව, "මැරිලා ගියත් රිමාන්ඩ් එකේ තියන්න කියලාද මේ කියන්නේ" යැයි ප්‍රකාශ කළා. "ආවේගශීලී වෙන්න එපා" යැයි මහේස්ත්‍රාත්වරයා ඔහුට අවවාද කළා. පසුව ජනාධිපති නීතිඥවරයා තම ප්‍රකාශය "සැත්කමකට භාජනය වීමට නියමිතයි" ලෙස සංශෝධනය කළා.
නඩුව පස්වරු 2 දක්වා කල් තබා ජාතික රෝහලෙන් නිශ්චිත වාර්තාවක් කැඳවූ මහේස්ත්‍රාත්වරයා, පිටු තුනක ඒ වාර්තාව පරීක්ෂා කර පැවසුවේ පහත කරුණු:
- සැකකාරියට සැත්කමක් සිදු කර හෝ සැලසුම් කර නැහැ.
- ඇය භාජනය කර ඇත්තේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය කට පමණයි.
- ප්‍රතිකාර නොකළොත් අවදානමක් ඇති බවත්,
- ඇයව රෝහලෙන් පිටතට ගෙනයාමට නොහැකි බවත් වාර්තාවේ සඳහන්.
- ප්‍රතිකාර කරන වෛද්‍ය මණ්ඩලය අද පස්වරුවේ ඉදිරි ප්‍රතිකාර පිළිබඳ තීරණයක් ගන්නවා.
"අධිකරණයට අවශ්‍ය නැහැ සැකකාරියව බන්ධනාගාරයේ තබන්න" යැයි කී මහේස්ත්‍රාත්වරයා, සම්පූර්ණ වෛද්‍ය වාර්තා නොමැතිව ඇප නියෝගයක් නිකුත් කළ නොහැකි බව පැවසුවා. ඇප ලැබී පසුව ඇය රෝහලෙන් පිටව ගියහොත් එය අධිකරණය පිළිබඳ අයහපත් මතයක් ඇති කළ හැකි බවත් ඔහු සඳහන් කළා. වැඩිදුර වෛද්‍ය වාර්තා සිකුරාදා (16) ඉදිරිපත් කරන ලෙසත්, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රගති වාර්තාවක් බන්ධනාගාර අධිකාරීවරයා ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.
වාර්තාව ලැබීමෙන් පසු අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, ඇයට ඇප දීමට සුවිශේෂී කරුණක් අනාවරණය වී නොමැති බව කීවා. ජනාධිපති නීතිඥවරයා නම්, ඇයට හෘද රෝගී තත්ත්වයක් ඇති බව පැහැදිලි බවත්, මීට වඩා අඩු රෝගවලටත් අධිකරණය ඇප දී ඇති බවත් කීවා.
විමර්ශනය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම අතර ඇති කරගත් එකඟතා ගිවිසුමක් යටතේ, අල්ලස් පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව ප්‍රථම වතාවට සිදු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවා. ඔහු අධිකරණයට දැන්වූ කරුණු මේවායි:
2010 දෙසැම්බර් 8 වැනිදා එවකට ජනාධිපති ආර්යාව ලෙස ශිරන්ති රාජපක්ෂගේ ලිපි ශීර්ෂයෙන්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට "කාල්ටන් සුව උදාන" ව්‍යාපෘතිය සඳහා මුදල් ඉල්ලා සෙලාන් බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතනවලට ලිපි යවා තිබෙනවා.
මුලින් රුපියල් මිලියන 140ක් අවශ්‍ය යැයි කියා, පසුව වාචිකව මිලියන 50 දක්වා අඩු කර තිබෙනවා.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය 2010 දෙසැම්බර් 30 වැනිදා රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කිරීමට අනුමැතිය දී තිබෙනවා. එහෙත් මුදල බැර වී ඇත්තේ එවැනි ගිණුමක් නොතිබූ නිසා, මරදාන සුදුවැල්ල මහජන බැංකු ශාඛාවේ "සිරිලිය සවිය" ගිණුමටයි.
පසුව චීන රජය ළමා රෝහලට ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇති අතර, එය "සිරිලිය සවිය" සංවිධානයෙන් ලබාදෙන පරිත්‍යාගයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ උත්සවය පැවැත්වූයේ සැකකාරියගේ පුත්‍රයෙකුගේ උපන්දිනයේදී වන අතර,
පළමු සැකකරු වන බැංකු සභාපතිටත් ආරාධනා කර තිබෙනවා. එම කාලය තුළත් රුපියල් මිලියන 10 එම ගිණුමේම තිබී ඇති බව කියනවා.
ඒ කාලයේ ළමා රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ (හිටපු අධ්‍යක්ෂවරුන් ලෙසද සඳහන්) ප්‍රකාශවලට අනුව, ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලෙස "සිරිලිය සවිය" වෙත රෝහල කිසිදු ඉල්ලීමක් කර නැහැ. එවකටත් රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තිබී තිබෙනවා. මේ අනුව මුදල් ලබාගෙන ඇත්තේ ශිරන්ති රාජපක්ෂගේ පෞද්ගලික අවශ්‍යතාවකට බව පෙනී යන බව ඔහු කීවා.
"සිරිලිය සවිය" සංවිධානය 2006දී ආරම්භ කළේ "ශිරන්ති නවෝදය" නමින් වන අතර, මාස කිහිපයකින් නම වෙනස් කර තිබෙනවා. එය නිසි ලෙස ලියාපදිංචි කර නැති බවත්, ගිණුම් හා වාර්ෂික වාර්තා නිසි ලෙස භාරදී නැති බවත්, මුදල් ඉල්ලීමට රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිනය හා දුරකථන අංක භාවිතා කර ඇති බවත් ඔහු කීවා. "රජයේ තනතුරක් නොදරන තැනැත්තියක් රාජ්‍ය ලාංඡනය ලිපි ශීර්ෂවලට භාවිතා කරන්නේ කෙසේද" යනු ඔහු නැගූ ප්‍රශ්නයයි. "සිරිලිය සවිය" යනු කළු සල්ලි සුදු කිරීමේ ක්‍රමවේදයක් බවත් ඔහු කීවා.
සැකකාරිය සැකකාරියක ලෙස නම් කර නීතිමය පියවර ගන්නා ලෙස සැප්තැම්බර් 10 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් දුන් බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවා. ඉන් පසු ඇය නවලෝක රෝහලට ඇතුළත් වී, පසුව සිංගප්පූරුව බලා පිටත් වූ බවත්, ගුවන් තොටුපළේදී 109 වගන්තිය යටතේ නොතීසියක් ලබාදී විමර්ශන කොට්ඨාසය වෙත වාර්තා කරන ලෙස දැන්වූ බවත් ඔහු කීවා.
ඇය දින විස්සක් පමණ සිංගප්පූරුවේ රැඳී සිටියත් එහිදී ප්‍රතිකාර ලබා නොගත් බවත්, බන්ධනාගාරගත කිරීමෙන් පසුව පමණක් හෘද පරීක්ෂණ සිදු වූ බවත් ඔහු පැවසුවා. සාමාන්‍ය පුරවැසියන්ට මෙවැනි පරීක්ෂණ සඳහා පොරොත්තු ලේඛනවල සිටීමට සිදුවන බවත්, ඇයට රුපියල් ලක්ෂ 50-60ක් පමණ වියදම් කර පරීක්ෂණ කිරීමේ අවස්ථාව ලැබී ඇති බවත් කියමින්, සුවිශේෂී කරුණු නිර්මාණය කරගැනීමේ උත්සාහයක් ලෙස ඔහු එය හැඳින්වූවා. ඇයව රෝහලෙන් ඉවත් කර බන්ධනාගාරගත කරන ලෙස තමන් ඉල්ලා නැති බවත් ඔහු කීවා.
විමර්ශන තවම අවසන් නැති බවත්, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පවසමින් ඔහු ඇප ඉල්ලීමට විරුද්ධ වුණා. ශිරන්ති රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේද කරුණු වාර්තා කර ඇති නිසා ඇප සඳහා සුවිශේෂී කරුණු අවශ්‍ය බව අනිල් සිල්වා කීවා.
නඩුව නැවත කැඳවන්නේ ඔක්තෝබර් 16 වැනිදායි.
No comments:
Post a Comment