‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ ඉන්දියානුවන් දෙන්නාට වරෙන්තු යවන්න තරම් සාක්ෂි මදි - Lanka News Click 24x7

‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ ඉන්දියානුවන් දෙන්නාට වරෙන්තු යවන්න තරම් සාක්ෂි මදි

Share This
insufficient-evidence-to-issue-warrants-for-two-indians-involved-in-krish-deal

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව විමර්ශන සඳහා ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගෙන් කළ ඉල්ලීම ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඊයේ (02) ප්‍රතික්ෂේප කරනු ලැබීය.




සිද්ධියට අදාළව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරියෙකු සාක්ෂි කූඩුවට නැගෙමින් කළ මෙම ඉල්ලීමේදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, හුදෙක් ලේඛන මත ඉදිරිපත් වන කරුණු මත පමණක් පදනම්ව වරෙන්තුවක් නිකුත් කළ නොහැකි බවයි. වරෙන්තුවක් නිකුත් කිරීමට පෙර සිද්ධියට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සහිතව විමර්ශන නිලධාරියා විසින් බී වාර්තාවක් මගින් අධිකරණය දැනුවත් කළ යුතු බවද මහේස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළේය.

මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) විසින් සාක්ෂි මෙහෙයවනු ලැබීය. විමර්ශන නිලධාරියා විසින් ලබාදුන් සාක්ෂිවලට අනුව, ක්‍රිෂ් ට්‍රාන්සර් ආයතනයේ ගිණුමක් හරහා නිමල් හේමසිරි පෙරේරා මාර්ගයෙන් අවස්ථා කිහිපයකදී රුපියල් මිලියන හැත්තෑවක අල්ලස් මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. සිද්ධියේ සිව්වැනි සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කර ඇති අතර, තුන්වන සැකකාරිය වන ජානකී සිරිවර්ධන නමැත්තිය මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නීය.




අදාළ ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් දෙදෙනා සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් තොරතුරු ලබාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ගුවන් තැපෑල මගින් කැඳවීම් ලිපි යොමු කළද, මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විමර්ශන නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය. 2012 සැප්තැම්බර් 09 වැනි දින ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති මෙම සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂවරයා ලෙස අමිත් කට්ටයාර් ද, විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තා ද කටයුතු කර ඇති බව විමර්ශන නිලධාරියා මහේස්ත්‍රාත්වරයා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අනාවරණය කළේය.

එමෙන්ම අදාළ රුපියල් මිලියන 70ක මුදල පෞද්ගලික බැංකුවක් හරහා 'ක්‍රිෂ් ට්‍රාන්සර් කොලොම්බු පැනල්' නමින් පවත්වාගෙන ගිය ගිණුමකට ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුවෙන් වාර්තාවක් ලබාගෙන ඇතත් ඊට අදාළ බැන්ඩේජ් පත්‍ර මෙතෙක් සොයාගෙන නොමැති බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය නියෝගය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, 2026 සැප්තැම්බර් 24 වැනි දින නම් කර ඇති මෙම ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බව පමණක් පවසා වරෙන්තු නිකුත් කිරීමට තරම් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි. අල්ලස් කොමිසමට වරෙන්තුවක් නොමැතිව වුවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ඇති නමුත්, ඊට පෙර අදාළ අපරාධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ගොනු කළ යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අල්ලස් කොමිසම කළ ඉල්ලීම එලෙස ප්‍රතික්ෂේප කළේය.

No comments:

Post a Comment

Pages