පැනමාව දෙදරවූ 7.7ක භූමිකම්පාව: ඓතිහාසික දේවස්ථාන බිම වැටෙයි, "මහා ව්‍යසනයක්" ප්‍රකාශයට පත් කරයි (photos) - Lanka News Click 24x7

පැනමාව දෙදරවූ 7.7ක භූමිකම්පාව: ඓතිහාසික දේවස්ථාන බිම වැටෙයි, "මහා ව්‍යසනයක්" ප්‍රකාශයට පත් කරයි (photos)

Share This
77-magnitude-earthquake-hits-panama-historic-churches-collapse-major-disaster-declared-photos

මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන පැනමාවේ දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (09) විශාලත්වය 7.7ක් ලෙස සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් ඇති විය. පැනමාවේ දේශීය වේලාවෙන් දහවල් 12.56ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.26ට) ඇති වූ මෙම භූමිකම්පාවේ නාභිය වූයේ හෙරේරා පළාතේ පිටලෝසා අරිබා නම් ග්‍රාමීය ප්‍රදේශයට කිලෝමීටර් 12ක් පමණ බටහිර-නිරිත දෙසින්, පොළොව මතුපිට සිට කිලෝමීටර් 12.6ක නොගැඹුරු මට්ටමකය.

මෙම ස්ථානය අගනුවර වන පැනමා නගරයටත්, ලොව ප්‍රසිද්ධ පැනමා ඇළටත් කිලෝමීටර් 200ක් පමණ නිරිත දෙසින් පිහිටා ඇත.




එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) මුලින් මෙම භූමිකම්පාවේ විශාලත්වය 8.0කට ආසන්න බව වාර්තා කළ නමුත් පසුව එය 7.7 ලෙස සංශෝධනය කළේය. ඔවුන්ගේ ඇස්තමේන්තුවලට අනුව මිලියන 4.6ක පමණ ජනතාවක් කම්පනය දැනී ඇති අතර, ඉන් 43,000කට ආසන්න පිරිසක් දැඩි කම්පනයට ලක් වූ ප්‍රදේශවල ජීවත් වෙති.

පැනමාවේ භූ විද්‍යා ආයතනය පවසන්නේ මෙම භූමිකම්පාව අසුවේරෝ-සෝනා දෝෂ පද්ධතියට සම්බන්ධ බවයි. කොකෝස්, නස්කා සහ කැරිබියානු භූ තහඩු එකට හමුවන සංකීර්ණ කලාපයක පිහිටි පැනමාවේ මෙතරම් ප්‍රබල භූමිකම්පා ඇතිවන්නේ කලාතුරකිනි.




ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පශ්චාත් කම්පන 45කට වැඩි සංඛ්‍යාවක් සටහන් වූ බව පැනමා විශ්වවිද්‍යාලය සඳහන් කරයි. ඉන් වඩාත් ප්‍රබල වූයේ පැය දෙකහමාරකට පමණ පසු ඇති වූ විශාලත්වය 6.6ක කම්පනයයි. ඉදිරි සතිය තුළ විශාලත්වය 5ට වැඩි තවත් කම්පන ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව USGS අනතුරු අඟවා තිබේ.

වැඩිම හානියක් සිදුව ඇත්තේ වෙරාගුවාස්, හෙරේරා, ලොස් සැන්ටොස් සහ කොක්ලේ යන මධ්‍යම පළාත්වලටය. නාභියත් අගනුවරත් අතර මැදක පිහිටි පෙනොනොමේ නගරයේ ආසන දෙව්මැදුරේ කුළුණ ඇතුළු කොටසක් කඩා වැටී ඇති අතර, ආණ්ඩුකාර කාර්යාලයටද හානි සිදුව තිබේ. එම නගරයේම "ඩොස් කොන්ටිනෙන්ටෙස්" හෝටලයේ පසුපස කොටස කඩා වැටී එහි නවතා තිබූ වාහන මත පතිත විය.



ලොස් සැන්ටොස් පළාතේ ප්‍රකට සංචාරක නගරයක් වන ප්ලායා වෙනාඕහි බහුමහල් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී වාහන කිහිපයක් පොඩි පට්ටම් වූ අතර, ඒ තුළ පුද්ගලයින් සිරවී සිටිය හැකි බවට දේශීය වාර්තා පළ වුවද එය මෙතෙක් තහවුරු වී නැත. 1938 වසරේ සිට ජාතික ඓතිහාසික උරුමයක් ලෙස නම් කර තිබූ ලොස් සැන්ටොස්හි යටත් විජිත යුගයේ සැන් අතනාසියෝ දේවස්ථානයද කඩා වැටී තිබේ.

නාභිය අවට මාර්ග ඉරිතලා සහ සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර, ලොස් සැන්ටොස්හි ටොනොසි ප්‍රදේශයට ගොඩබිම් මාර්ගයෙන් ළඟාවීමේ හැකියාව අහිමි වී ඇතැයි වාර්තා වේ. හෙරේරා පළාතේ ලාස් මිනාස් ඇතුළු ප්‍රදේශවල නිවාස ඉරිතලා ඇති අතර, පළාත් හයක විදුලි සැපයුම බිඳ වැටුණි. ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක ක්‍රියාකාරිත්වයටද බාධා එල්ල විය.

"අපි බයෙන් ඉන්නේ. මෙහෙ ඉන්නේ අපි වයසක දෙන්නා විතරයි. ගේ ඉරිතලලා, ඒක අපි උඩට කඩන් වැටෙයිද කියලා බයයි" යනුවෙන් ලාස් මිනාස් හි පදිංචි 74 හැවිරිදි රිකාඩෝ බ්‍රවුන් මාධ්‍ය වෙත පැවසීය.

කිලෝමීටර් 200ක් දුරින් පිහිටි පැනමා නගරයේද දැඩි කම්පනයක් දැනුණු අතර, උස් ගොඩනැගිලිවලින් ජනතාව විශාල වශයෙන් ඉවත් කෙරිණි. මෙට්‍රෝ දුම්රිය මාර්ග දෙකක සේවා තාවකාලිකව අත්හිටුවූ අතර, ඇතැම් ස්ථානවල සුන්බුන් ඇද වැටුණි. කෙසේ වෙතත් අගනුවර අහස උස ගොඩනැගිලිවලට බරපතළ ව්‍යුහාත්මක හානියක් වාර්තා වී නැත.

හදිසි ආරක්ෂක ක්‍රියාපටිපාටි සහ පරීක්ෂණවලින් පසු පැනමා ඇළේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බව ඇළ අධිකාරිය නිවේදනය කළේය. කොබ්‍රේ පැනමා තඹ පතලද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ටොකුමෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් ආරක්ෂක පරීක්ෂණ සඳහා කෙටි කලකට නතර කළ නමුත් පසුව නැවත ආරම්භ කෙරිණි. රට පුරා පාසල් වසා දැමූ අතර, කාකතාලීය ලෙස ජාතික මට්ටමේ භූමිකම්පා ඉවත් කිරීමේ අභ්‍යාසයක් ලබන සඳුදා පැවැත්වීමට නියමිතව තිබිණි.

අවසන් වරට ලැබුණු වාර්තාවලට අනුව මෙම භූමිකම්පාවෙන් කිසිදු මරණයක් තහවුරු වී නැත. පැනමා සිවිල් ආරක්ෂක ආයතනයේ (Sinaproc) ප්‍රධානී ඕමාර් ස්මිත් සහ නියෝජ්‍ය ප්‍රධානී මලිට්සි රිවේරා පවසා ඇත්තේ පෙනොනොමේහිදී සුන්බුන් වැදී තුවාල ලැබූ අයෙකු ඇතුළු සුළු තුවාල ලැබූ පිරිසක් සිටින බවයි. මාර්ග හානි සහ සන්නිවේදන බාධා හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල තත්ත්වය තක්සේරු කිරීම තවමත් අපහසු වී තිබේ.

ජනාධිපති හොසේ රාවුල් මුලිනෝ මෙම තත්ත්වය "මහා ව්‍යසනයක්" ලෙස ප්‍රකාශයට පත් කළ අතර, "සිදු වූ දෙය බිය හෝ අවුල් ඇති කිරීමට භාවිත නොකළ යුතුයි" යනුවෙන් ජනතාවට සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටියේය. ඔහු පෙනොනොමේ වෙත ගොස්, රෝගීන්ට එළිමහනේ ප්‍රතිකාර කරමින් සිටි රෝහලකද නිරීක්ෂණ චාරිකාවක නිරත විය. රටවල් කිහිපයක් ආධාර ලබාදීමට ඉදිරිපත් වී තිබේ.

පැනමාවේ ආර්ථික පාඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ත් 10ත් අතර විය හැකි බව USGS ඇස්තමේන්තු කරන අතර, පස ද්‍රවීකරණය සහ නායයෑම් අවදානම් පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

භූමිකම්පාවෙන් පසු පැනමාව, කොලොම්බියාව, ඉක්වදෝරය, පේරු, කොස්ටාරිකාව, නිකරගුවාව, ග්වාතමාලාව, එල් සැල්වදෝරය සහ මෙක්සිකෝව ඇතුළු රටවල වෙරළ තීරයන් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළද, පසුව එම තර්ජනය පහව ගිය බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය තහවුරු කළේය. නාභිය අවට මුහුදු මට්ටමේ සුළු උච්චාවචන තවදුරටත් ඇතිවිය හැකි බව එහි සඳහන් වේ.

මෙම වසර මුලදී වෙනිසියුලාවේ සහ කොලොම්බියාවේ ඇති වූ මාරාන්තික භූමිකම්පාවලින් පසුව කලාපයේ සිදු වූ තවත් ප්‍රබල භූමිකම්පාවක් ලෙස මෙය සැලකේ.

77-magnitude-earthquake-hits-panama-historic-churches-collapse-major-disaster-declared-photos

77-magnitude-earthquake-hits-panama-historic-churches-collapse-major-disaster-declared-photos

77-magnitude-earthquake-hits-panama-historic-churches-collapse-major-disaster-declared-photos



77-magnitude-earthquake-hits-panama-historic-churches-collapse-major-disaster-declared-photos

77-magnitude-earthquake-hits-panama-historic-churches-collapse-major-disaster-declared-photos

77-magnitude-earthquake-hits-panama-historic-churches-collapse-major-disaster-declared-photos



77-magnitude-earthquake-hits-panama-historic-churches-collapse-major-disaster-declared-photos

77-magnitude-earthquake-hits-panama-historic-churches-collapse-major-disaster-declared-photos

77-magnitude-earthquake-hits-panama-historic-churches-collapse-major-disaster-declared-photos

No comments:

Post a Comment

Pages