ජාත්‍යන්තර සාක්ෂි නිසා නාමල්ට ගැලවුමක් නැහැ - නඩු වාරයේදී හෙළි කරයි - Lanka News Click 24x7

ජාත්‍යන්තර සාක්ෂි නිසා නාමල්ට ගැලවුමක් නැහැ - නඩු වාරයේදී හෙළි කරයි

Share This
namal-has-no-escape-due-to-international-evidence---revealed-during-the-trial

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් යානා මිලදී ගැනීමේදී සිදුවූවායි කියන අල්ලස් ලබා ගැනීම් සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව ප්‍රමාදයකින් තොරව නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ප්‍රකාශ කළේය. මෙම සිදුවීමට අදාළව දැනට රිමාන්ඩ් බාරයේ පසුවන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමේ නියෝගය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 23 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.




සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. නීතිපතිවරයා නියෝජනය කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මුදල් විශුද්ධිකරණ පනත යටතේ හවුල් විමර්ශනයක් පවත්වන බවත්, එහි හතරවැනි සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර ඇති බවත්ය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ප්‍රංශයේ එයාර්බස් සමාගමෙන් පුළුල් බඳ සහිත ගුවන් යානා 16ක් මිලදී ගැනීමට ගිවිසුම්ගත වීමෙන් පසු යානා දෙකක් මෙරටට ලැබී තිබියදී, එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි නමැත්තියගේ නමින් සිංගප්පූරුවේ "බිග් සොලියුෂන්" නමැති සමාගමක් පිහිටුවා යුරෝ 1,454ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක්) ලබාගනිමින් වංචා සිදුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇත. මෙම සිදුවීමට අදාළව ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, සිංගප්පූරුව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රාජ්‍යයන්හි සහාය ඇතිව සිදුකළ පුළුල් විමර්ශනවල සියලු උද්ධෘත මේ වන විටත් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.




අදාළ සිංගප්පූරු සමාගමෙන් යුරෝ 160,400ක මුදලක් හිටපු ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද රාජපක්ෂ මහතාගේ ගිණුමකට යොමුකර ඇති අතර, ඔහුගේ සමාගමකට රුපියල් මිලියන 6ක මුදලක් සහ මිලියන 13ක චෙක්පත් ලබාදී ඇති ආකාරය ද විමර්ශනවලදී අනාවරණය වී ඇත. එමෙන්ම, මෙහි සාක්ෂිකරුවකු වන නිමල් පෙරේරා නැමැත්තා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව එල්ල වූ බලපෑම් හමුවේ ඕස්ට්‍රේලියාවට ගොස් ඇති අතර, තමන්ට එහි පවා රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව දිවුරුම් ප්‍රකාශයක් මඟින් දැනුම් දී ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට හෙළි කළේය.

එයාර්බස් සමාගමේ නිලධාරීන් කිහිප වරක්ම මෙරටට පැමිණ ප්‍රකාශ ලබාදී ඇති අතර, වෝහාරික විගණන වාර්තා සහ එයාර්බස් සමාගමේ ඊමේල් පණිවුඩ මඟින් සැකකාර නාමල් රාජපක්ෂ මහතා ක්‍රියා කළ ආකාරය අනාවරණය වී ඇති බවද ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධවී තහවුරු කළ ලබාදී ඇති නිශ්චිත සාක්ෂි ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. මේ අතර, මෙම සිද්ධියේ අල්ලස් ලබාගැනීමේ චෝදනාවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ. සිද්ධියේ දෙවැනි සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි සිංගප්පූරුවේත්, තෙවැනි සැකකරු වන ශමීන්ද රාජපක්ෂ ඇමෙරිකාවේත් සිටින බවට තොරතුරු ලැබී ඇතත් ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, විමර්ශන අවසන් අදියරේ පවතින බැවින් නීතිපති උපදෙස් මත ප්‍රමාදයකින් තොරව චෝදනා ගොනු කරන බවත් අධිකරණයට දැනුම් දෙන ලදී.



සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා දේශපාලනඥයකු බැවින් විදේශයක සැඟවී සිටීමේ අවශ්‍යතාවක් නැති බවයි. රැස්වීමක් තිබෙන බව පවසමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් තම සේවාදායකයා රිමාන්ඩ් කළ බවත්, රජයට අවශ්‍ය පරිදි පුද්ගලයන් රිමාන්ඩ් කළ නොහැකි අතර ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව කටයුතු කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම නිමල් පෙරේරා නමැත්තා ගිණුමකට මුදල් තැන්පත් කළ පලියට තම සේවාදායකයා වරදකරුවකු නොවන බව පැවසූ ඒ මහතා, ඕනෑම කොන්දේසියකට යටත්ව ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාර නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වැනිදා දක්වා නැවත රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළ අතර, සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය එදිනට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

No comments:

Post a Comment

Pages