මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ‘සී’ කොටසේ පිහිටි නිවසක ඊයේ (23) රාත්‍රියේ හදිසියේ හටගත් දරුණු ගිනිගැනීමකින් එම නිවසේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 84 හැවිරිදි වියේ පසුවූ අදාළ නිවසේ හිමිකරුවා වන අතර, ගින්නට හසුවීමෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිඳ, පුතු සහ 15 හැවිරිදි අසල්වැසි දරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
පැතිර ගිය ගින්න පාලනය කිරීම සඳහා කොළඹ සහ මොරටුව මහ නගර සභාවලට අයත් ගිනි නිවීමේ රථ හයක් වහාම එම ස්ථානයට කැඳවීමට පියවර ගෙන තිබිණි. ගිනි නිවන ඒකක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් පසුව ගින්න පාලනය කිරීමට හැකිවී තිබේ.
අනතුර සිදුවූ ස්ථානයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ නිවස තුළ තිබී ගෑස් සිලින්ඩර 20ක් සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇත. මෙම හදිසි ගිනිගැනීමට ගෑස් කාන්දුවක් හේතු වන්නට ඇති බවට පොලීසිය දැනට සැක පළකරන අතර, අදාළ නිවස තුළ මෙලෙස ගෑස් සිලින්ඩර විශාල සංඛ්‍යාවක් ගබඩා කර තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
No comments:
Post a Comment