අම්මටත් අසනීපයි.. මෛත්‍රීගේ ලේඛන දෝෂ හදා අනුර ජනපති මට සමාව දෙන්න - ඥානසාර හිමි - Lanka News Click 24x7

අම්මටත් අසනීපයි.. මෛත්‍රීගේ ලේඛන දෝෂ හදා අනුර ජනපති මට සමාව දෙන්න - ඥානසාර හිමි

Share This
my-mother-is-also-sick-president-anura-should-forgive-me-for-making-mistakes-in-maithris-writing---gnanasara-thero

ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයේ විභාග වන නඩුවක් මැදට කඩා පැන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව වසර හයක සිරදඬුවම් නියම වී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් ජනාධිපති සමාව නිසා මාස 7 ක් වැනි කෙටි කාලයකදී එම සිර දඩුවම අවසන් කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීරණය බලරහිත කිරීමෙන් පසුව, අතුරුදන්ව සිටියහ.




අනතුරුව පසුගිය 17 වන දින මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක තිබූ අතර පසුව ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ වෙනත් නඩුවකට අදාළව උන්වහන්සේ කොළඹ මහාධිකරණය හමුවේද පෙනී සිටියේ 18 වනදාය. මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා නියෝග කළේ එම නඩුව ලබන සැප්තැම්බර් මස 30 වනදා නැවත කැඳවීමටයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් පිරිසක් රාජගිරිය, නාවල පාරේ පිහිටි ඥානසාර හිමියන් වැඩවසන විහාරස්ථානය වෙත ගියද උන්වහන්සේ සිටින තැනක් පිළිබඳ තොරතුරක් නොලැබුණු බවට වාර්තා පළ විය. කෙසේවෙතත් එම වාර්තා ප්‍රතික්ෂේප කළ ඥානසාර හිමියන්ගේ පාර්ශ්වය අවධාරණය කළේ නිලධාරීන් විහාරස්ථානයට නොපැමිණි බවත් උන්වහන්සේ සැඟව සිටින බවට පළවන පුවත් අසත්‍ය බවත්ය. මේ අතර ජනාධිපති සමාව අවලංගු කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ නඩු තීන්දුව ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටින බව පොලිසිය ප්‍රකාශ කර ඇත.




ඊයේ (20) කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති තමන් විසින් රචිත '9.5 විකෘතිය' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඥානසාර හිමියන් මහා සංඝරත්නයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළහ. එහිදී උන්වහන්සේ සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා තමන් වෙත ජනාධිපති සමාව ලබා දීමේදී නිලධාරීන් අතින් සිදුවූ පරිපාලනමය දෝෂ නිවැරදි කර, නිවැරදි ක්‍රමවේදයට අනුව තමන් වෙත නැවත ජනාධිපති සමාව ලබා දෙන ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින ලෙසයි. බුද්ධ නියමයට හා රටේ විනයට අනුව නීතියට හිස නමන බව ප්‍රකාශ කළ උන්වහන්සේ, ක්‍රමවේදයේ යම් වරදක් සිදුව ඇත්නම් එහි වගකීම නිලධාරීන් සතු වන බැවින් ඒ වෙනුවෙන් තමන්ගෙන් පළිගැනීම අසාධාරණ බව පෙන්වා දුන්හ.

තමන් නැවත බන්ධනාගාරගත වීමට බිය නොවන නමුත් මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරියේදී රට සහ ශාසනය වෙනුවෙන් පෙනී සිටින තරුණ භික්ෂූන් වහන්සේලා අධෛර්යමත් වන බව උන්වහන්සේ පැවසූහ. තමන් මුහුණ දී සිටින අවිනිශ්චිත තත්ත්වය හමුවේ වයස අවුරුදු 87ක් වන තම මව ඉදිරියේ තමන් වෙනුවෙන් ජීව පාංශුකූලයක් ලබා දෙන මට්ටමට පවා සිතෙන බව උන්වහන්සේ සංවේගයෙන් ප්‍රකාශ කළහ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ රැසක් මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වූහ.



අධිකරණ නියෝග ලබාදීමෙන් පසු උන් වහන්සේ නැවත සිරගෙයට වැඩමවා වසර පහමාරක් පමණ එහි සිර දඩුවම් විඳීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment

Pages