ශිරන්ති රාජපක්ෂ මවුන්ට් එළිසබෙත් රෝහලට - Lanka News Click 24x7

ශිරන්ති රාජපක්ෂ මවුන්ට් එළිසබෙත් රෝහලට

Share This
shiranthi-rajapaksa-admitted-to-mount-elizabeth-hospital

සිරිලිය සවිය පදනමේ සිදුවූවායි කියන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ ලබන 24 වනදා පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත දැනුම් දී තිබියදී, ඇය සිංගප්පූරුව බලා පිටත්ව යාම දැඩි අවධානයට ලක්ව තිබේ. සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත ඇතුළත් වී සිටින ඇය මේ වන විට විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.




කොළඹ පෞද්ගලික රෝහලක සතියක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යාව, එම රෝහලෙන් පිටවූ වහාම සෘජුවම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොස් ඇත. අදාළ ප්‍රකාශය ලබාදීමේ නිවේදනය මුලින්ම තංගල්ල කාල්ටන් නිවස වෙත යොමු කර තිබූ අතර, ඇය විදේශගත වීමට සූදානම් වන බව සැලවීමත් සමඟ මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. එහිදී ගුවන් යානයට ගොඩවීමට ආසන්නව තිබියදී අදාළ කැඳවීමේ නිවේදනය භාරදී ඇති අතර, ඇය වෙනුවෙන් එම ලේඛනය භාරගෙන ඇත්තේ සමඟ ගමන් කළ ඥාතියෙකි.

කෙසේ වෙතත්, මෙය නීතියෙන් පලා යාමේ උත්සාහයක් බවට පළවන වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේ, මෙම ගමන රෝගී තත්ත්වයට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් පමණක් සිදුකළ එකක් බවත්, ලබන 19 වනදා ඇය නැවත දිවයිනට පැමිණීමට නියමිත බවත්ය. ඒ අනුව නියමිත පරිදි ලබන 24 වනදා FCID හමුවේ පෙනී සිටීමට ඇය කටයුතු කරනු ඇත.




චෝදනාවට ලක්ව ඇති සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නීතිඥවරයා සඳහන් කළේ, මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගී දරුවන් උදෙසා PET ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට මහජන බැංකුවෙන් රුපියල් මිලියන 2ක පරිත්‍යාගයක් එකල ලැබුණු බවයි. එහෙත් චීන රජය විසින් අදාළ යන්ත්‍රය නොමිලේ ලබාදීමට පියවර ගැනීම හේතුවෙන්, එකතු වූ මුදල් යොදවා ළමා වාට්ටුවක් ඉදිකිරීමට පදනම තීරණය කළ බව ඔහු පැවසීය.

එම ගිණුමේ ඇති කිසිදු මුදලක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෝ ඇගේ පවුලේ කිසිවකු පෞද්ගලික පරිහරණයට ගෙන නොමැති බවත්, මහජන බැංකු පරිත්‍යාගය ඇතුළු සියලු ප්‍රතිපාදන අදටත් එම බැංකු ගිණුමේ සුරක්ෂිතව පවතින බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා අවධාරණය කළේය. දේශපාලන දඩයම් වෙනුවෙන් නිවෙස්වල සිටින කාන්තාවන් ඈඳා නොගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඔහු, පවතින ආණ්ඩු බලය තාවකාලික එකක් බවද සිහිපත් කර තිබුණි.



මින් ඉහත භාරත ඝාතන සිද්ධියෙන් පසු ආ‍න්දෝලනයට තුඩුදුන් දුමින්ද සිල්වා කාලයක් තිස්සේ නතරව සිටියේද සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේය. එම රෝහල් වාර්තා මගින් අධිකරණය මගහරිමින් දිගු කාලයත් රැඳී සිටීමට එකල දුමින්ද සමත් විය.

shiranthi-rajapaksa-admitted-to-mount-elizabeth-hospital

shiranthi-rajapaksa-admitted-to-mount-elizabeth-hospital

No comments:

Post a Comment

Pages