පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි අද (26) අලුයම සිදුවූ හදිසි පිපිරීමකින් තුවාල ලැබූ එම රෝහලේ කාර්ය මණ්ඩල සේවකයින් හත්දෙනෙකු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව මහ රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.
අලුයම 4.00 ත් 4.30 ත් අතර කාලයේදී මුළුතැන්ගෙය තුළ තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එමගින් රෝහල් ගොඩනැගිලි පරිශ්‍රයට දැඩි හානි සිදු වී ඇත. එසේ වුවද, එම අවස්ථාවේ නේවාසිකව සිටි කිසිදු රෝගියෙකුට හෝ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
රෝගීන්ගේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස, ඔවුන් වහාම රෝහලේ අනෙකුත් ආරක්ෂිත වාට්ටු වෙත මෙන්ම පොළොන්නරුව මහ රෝහල වෙතද මාරු කර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය, රෝහල් පරිපාලනය සහ ජාතික වකුගඩු රෝහලේ විශේෂ කණ්ඩායමක් එක්ව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
No comments:
Post a Comment