
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සිට ක්‍රියාත්මක වූ Air Arabia ගුවන් සේවයට අයත් 3L-708 දරන ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ මෙම සැකකරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙලෙස දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ අදාළ කාර්යාංශයට භාර දීමට පියවර ගෙන ඇත.
දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ශිරාන් බාසික් යනු 2018 වසරේදී මෙරටින් පලාගොස් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු පවා නිකුත් කර සිටි අයෙකි. මෙරටට මත්ද්‍රව්‍ය සැපයීමේ නිරත ප්‍රධානතම ජාවාරම්කරුවන් පස්දෙනා අතරින් එක් අයෙකු වන මොහු, 'වෙලේ සුදා' නමැති ජාවාරම්කරුට පසුව සිටින ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙසද සැලකේ. කොළඹ සහ කොළඹ දකුණ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ජාලගත මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන ගිය මොහු, ඩුබායි හිදී ධන කුවේරයෙකු ලෙස පෙනී සිටිමින් සැඟව සිට ඇති බව අනාවරණය වී තිබේ.
ඉරාන-ඇමෙරිකානු ගැටුම් අතරතුරදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් මිසයිල සහ ඩ්‍රෝන යානාවල ඡායාරූප හා වීඩියෝ දර්ශන තමන්ගේ ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරදට මොහු පසුගිය මැයි මස 26 වැනිදා ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ පැවැති සෘජු සබඳතා සහ මෙම සිද්ධිය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයටද මොහු අවශ්‍ය කර සිටි අතර, ඔහුව භාරගැනීමට ඇමෙරිකාවෙන් ඉල්ලීමක්ද ඉදිරිපත් වී තිබුණි. මුලින් මොහුව මෙරටට ලබාදීමට එරට බලධාරීන් සූදානමින් නොසිටියද, ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ කළ විශේෂ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඩුබායි පොලීසිය පියවර ගත්තේය.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ගිනිඅවි සහ තියුණු ආයුධ ළඟ තබාගැනීම, නීති විරෝධී රැස්වීම්වල සාමාජිකයෙකු වීම මෙන්ම අනර්ථයන් සිදුකිරීම සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ හරහා උපයාගත් බවට සැකකෙරෙන ශිරාන් බාසික්ගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ විමර්ශනයක් පැවැත්වීමට පොලීසිය සැලසුම් කර තිබේ.
No comments:
Post a Comment