BMICHහිදී පෙම්වතිය පැහැරගත් මෝටර් රථයට පොලීසියෙන් වෙඩි - Lanka News Click 24x7

BMICHහිදී පෙම්වතිය පැහැරගත් මෝටර් රථයට පොලීසියෙන් වෙඩි

Share This
the-police-shot-at-the-car-that-kidnapped-the-girlfriend-at-bmich

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වෙමින් සිටි තරුණියක ඇගේ පෙම්වතා විසින් මෝටර් රථයකින් පැහැරගනු ලැබීමේ පුවතක් පෙරේදා වාර්තා විය. පසුගිය විසි නවවැනි සෙනසුරාදා දහවල් කාලයේ සිදුවූ මෙම සිදුවීමේදී වහා ක්‍රියාත්මක වූ පොලීසිය මෝටර් රථයේ රෝදවලට වෙඩි තබා තරුණිය බේරාගෙන ඇති අතර, පලාගිය සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.




දුරකථන ඇමතුමක් ලබාදී තරුණිය තමා සිටි ස්ථානයට ගෙන්වාගෙන ඇති සැකකරු, පසුව ඇය බලහත්කාරයෙන් මෝටර් රථයට නංවාගෙන පළාගොස් තිබේ. මෙම පැහැරගැනීම පිළිබඳව තරුණියගේ පියා විසින් වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරු ලබාදී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ කොළඹ දිසා විශේෂ මෙහෙයුම් මැදිරිය, කොළඹ පුරා පිහිටි මාර්ග බාධක සහ පොලිස් මුරපොළවල් වෙත අදාළ මෝටර් රථය පිළිබඳව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි.

නාරාහේන්පිට දෙස සිට නාවල පාර ඔස්සේ ධාවනය වූ මෙම මෝටර් රථය, පොලිස් රෝහල ආසන්නයේ පිහිටි මාර්ග බාධකයේ සිටි නිලධාරීන් විසින් හඳුනාගෙන නතර කරන ලෙස සංඥා කර ඇත. එහෙත් අණ නොතකා රථය ධාවනය කිරීම නිසා එහි සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් රථයේ රෝදවලට වෙඩි තබා තිබේ. එහිදී එක් වෙඩි පහරක් රථයේ බෆරයටත්, තවත් වෙඩි පහරක් අසල ගොඩනැගිල්ලකටත් වැදී ඇති අතර, වෙඩි තැබීමත් සමග භීතියට පත් සැකකරු ධාවනය වෙමින් තිබූ රථයෙන් බිමට පැන පලාගොස් ඇත.




රියදුරු නොමැතිව ඉදිරියට ඇදී ගිය මෝටර් රථය ආසන්නයේ වූ තාප්පයක ගැටී නතර වී ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. පසුව සිදුකළ සෝදිසි කිරීමේදී මෝටර් රථය තුළ තිබී අලුත්ම මන්නා පිහියක් සොයාගෙන ඇති අතර, පෙම්වතියට යම් අනතුරක් කිරීමේ අරමුණින් එය රැගෙන ආවේද යන්න පිළිබඳව පොලීසිය සැක පහළ කරයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පැහැරගැනීමට ලක්වූ තරුණිය වැලිගම, පැලෑන ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ උපාධිධාරිනියක බවයි. දීර්ඝ කාලීන සබඳතාවක් පැවැති මොවුන් අතරින්, මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකාර පෙම්වතා රැකියාවක් නොමැති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට ඇතිවූ සැකය මත මෙම සබඳතාව නතර කරන ලෙස ඇගේ පියා උපදෙස් දී තිබේ. පියාගේ අවවාද පිළිගනිමින් තරුණිය සබඳතාව නතර කිරීම නිසා කෝපයට පත් සැකකරු, දස දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සමග ඇගේ නිවසට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇත.



අනතුරුව දෙදෙනා අතර කිසිදු සබඳතාවක් පැවැත නොමැති අතර, තරුණියගේ උපාධි ප්‍රදානෝත්සවය පිළිබඳ තොරතුරු දැනගත් සැකකරු වැලිගම සිට පැමිණ මෙම පැහැරගැනීම සිදුකර ඇති බව හෙළිවී තිබේ. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ, කොළඹ දකුණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

the-police-shot-at-the-car-that-kidnapped-the-girlfriend-at-bmich

No comments:

Post a Comment

Pages