
තරුණියකගේ විවාහ මංගල්‍යයේදී මනාලියන් ඇන්දවීමේ කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් මනාලියගේ පෙනුම වෙනස් වී ඇති බව කියමින් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ විශාල වශයෙන් හුවමාරු වීමේ පුවතක් වාර්තා විය. උඩරට මනාලියක ලෙස සැරසුණු මෙම තරුණියගේ ඡායාරූප ෆේස්බුක් (Facebook) සහ ටික්ටොක් (TikTok) වැනි වේදිකා ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූ අතර, අදාළ රූපලාවණ්‍යාගාරයේ සේවාව පිළිබඳව ද සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ පිරිස් කියා සිටියේ මංගල දිනය වැනි විශේෂ අවස්ථාවකදී රූපලාවණ්‍යාගාරයක පූර්ව සමාලෝචන සහ පෙර නිර්මාණ දෙස නොබලා කටයුතු කිරීම ගැටලුසහගත බවයි. එසේම ඇතැම් පිරිස් මනාලිය කෙරෙහි අනුකම්පාව පළ කරද්දී, තවත් රූපලාවණ්‍යාගාර කිහිපයක් මෙම සිදුවීම පදනම් කරගනිමින් අදාළ ඡායාරූප භාවිත කර නොමිලේ නැවත ඇන්දවීමේ යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රචාරණ කටයුතුවල නිරත වන බවටද චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, මෙම සියලු විවේචන සහ කතාබහ මැද මනාලිය මංගල ඡායාරූපවල සිනාමුසු මුහුණින් පසුවීම පිළිබඳවද බොහෝ දෙනාගේ අවධානය යොමු විය.
මතු වූ මෙම ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ අදාළ මනාලිය වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ගේ මංගල ඇඳුමේ හෝ මේකප් එකේ යම් යම් අඩුපාඩු පැවතියද, එම සිදුවීම තමන්ට කිසිදු ප්‍රශ්නයක් හෝ අර්බුදයක් නොවන බවයි. ලෝකයේ කිසිදු පුද්ගලයෙකු හෝ දෙයක් සරසම්පූර්ණ නොවන බව පෙන්වා දුන් ඇය, තමන්ගේ මංගල දිනය පිළිබඳව තමන් තෘප්තිමත් වන බැවින් නොමිලේ නැවත ඇන්දවීමට විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ඇරයුම්ද ප්‍රතික්ෂේප කළාය.
තමන්ගේ මංගල ඡායාරූප ගැටලුවක් කර ප්‍රචාරය කිරීමට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බව ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.
No comments:
Post a Comment