
තමන්ව සෙවීමෙන් වළකින ලෙසත්, ඇඳ යට තබා ඇති ලිපිය ලබාගන්නා ලෙසත් මවට දුරකථනයෙන් දැනුම් දී අතුරුදහන් වූ පසළොස්හැවිරිදි පාසල් සිසුවියක සහ ඇගේ පෙම්වතා සෙවීම සඳහා මාදම්පේ පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ මාදම්පේ, තඹගල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි, 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකි. ඇය සිය පියා සේවය කරන කර්මාන්තශාලාවේම සේවය කළ තරුණයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
ඊයේ (18) පෙරවරුවේ සිය පියා වෙත දිවා ආහාරය රැගෙන ගිය දැරිය නැවත නිවසට පැමිණ නොමැති අතර, ඇය පිළිබඳව සොයා බලන අතරතුර අදාළ තරුණයාගේ ජංගම දුරකථනයෙන් මව වෙත ඇමතුමක් ලැබී ඇති බව සඳහන් වේ. එහිදී දැරිය විසින් "මම එන්නේ නෑ.. මාව හොයන්න එපා.. ඇද යට ලියමනක් තියනවා ගන්න" යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර, පසුව මව විසින් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.
සිය දියණිය සමඟ සබඳතාව පැවැත්වූ මෙම තරුණයා මීට පෙර මාදම්පේ, ඉස්සම්මැඩිල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, ඔහු දැනට වව්නියාව ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව මව පොලිසිය හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
අතුරුදහන් වූ බාලවයස්කාර සිසුවිය හෝ ඇගේ පෙම්වතා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, මාදම්පේ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
No comments:
Post a Comment