සුගීශ්වර බණ්ඩාරගේ නහරයක් පිපිරී රෝහලේ - Lanka News Click 24x7

සුගීශ්වර බණ්ඩාරගේ නහරයක් පිපිරී රෝහලේ

Share This
sugeeshwara-bandaras-vein-burst-in-the-hospital

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ ප්‍රමුඛ පරිපාලන තනතුරු හොබවමින් සිටියදී වේතන දෙකක් ලබාගැනීමේවරදට සිරගතව සිටින සුගීෂ්වර බණ්ඩාර මහතා පාදයේ රුධිර නහරයක් පුපුරා යාමේ හදිසි ආබාධයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ. රජයේ මුදල් රුපියල් කෝටි 22කට අධික ප්‍රමාණයක් සාවද්‍ය පරිහරණය කිරීම සහ විශ්වාසය කඩකිරීමේ චෝදනා මත ඔහු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාර භාරයේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලයේදී විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කර ඇත්තේ ද ඔහුය.




නව මැගසින් බන්ධනාගාරයේ 'ජී' වාට්ටුවේ සිර අංක 8439 යටතේ රඳවා සිටි ඒ මහතාගේ පාදයේ පැවති ‘වෙරිකෝස්’ (Varicose veins) රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රුධිර නහරයක් මෙලෙස පුපුරා ගොස් ඇත. මෙයට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් ‘සෙලියුලයිටිස්’ (Cellulitis) නමැති දරුණු බැක්ටීරියා ආසාදනය මතුවී පාදය ඉවත් කිරීමට පවා සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව විත්ති පාර්ශවයේ නීතිඥවරු අනතුරු අඟවති.

ඔහුට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සලසන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥවරුන් ගොනු කළ මෝසම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. රැඳවියන්ගේ අභ්‍යන්තර පරිපාලනය හෝ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් සෘජු නියෝග නිකුත් කිරීමට අධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දුන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අදාළ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත සෘජුව යොමු කරන ලෙස දැනුම් දුන් අතර, පසුව උද්ගත වූ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Pages