
අයගම, ඉන්දොලවත්ත ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක ගල් තලාවකින් අඩි 300 ක පමණ ප්‍රපාතයකට ඇදවැටීමෙන් 59 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අයගම, දුම්බර, මානාන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
පසුගිය 14 වනදා ඥාති නිවසකට යන බව පවසමින් නිවසින් පිටත්ව ගිය මෙම පුද්ගලයා අදාළ නිවසට පැමිණ නොමැත. ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීම්වලදී 'ගලේ පන්සල' නමැති ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ස්ථානයේ තිබී ඔහුගේ පාවහන් යුගල සහ කුඩය හමුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, ඊයේ (15) දිනයේදී කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලීසිය එක්ව ඩ්‍රෝන කැමරා තාක්ෂණය භාවිත කරමින් විශේෂ සෙවුම් මෙහෙයුමක් දියත් කර ඇත. එහිදී අඩි 300 ක පමණ ගැඹුරු ප්‍රපාතයේ තිබී අදාළ පුද්ගලයාගේ මෘත දේහය සොයාගැනීමට හැකි වුවද, භූමියේ පවතින දුෂ්කරතාව හේතුවෙන් එම අවස්ථාවේදී දේහය පිහිටි ස්ථානයට ළඟාවීමට ආරක්ෂක අංශවලට නොහැකි වී තිබේ.
ඒ අනුව, ප්‍රපාතයේ තිබූ මෘත ශරීරය ගොඩගැනීමේ විශේෂ මෙහෙයුම අද (16) දිනයේදී යුද හමුදා කමාන්ඩෝ නිලධාරීන්ගේ සහ හමුදා භටපිරිස්වල සහභාගීත්වයෙන් සිදුකර ඇත. මෙම සිද්ධිය ගල් තලාවෙන් පහළට ඇදවැටීමෙන් සිදුවූ අනතුරක්ද නැතහොත් සියදිවි හානිකරගැනීමක්ද යන්න සම්බන්ධයෙන් අයගම පොලීසිය ඉදිරි පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
No comments:
Post a Comment