
මොණරාගල - වැල්ලවාය මාර්ගයේ කුඹුක්කන කළුපාලම අසලදී අද (21) අලුයම 12:30 ට පමණ සිදුවූ දරුණු රිය අනතුරකින් කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසකගේ එකම පවුලේ දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
කතරගම හා කැබිලිත්ත පුදබිම වන්දනා කිරීම සඳහා ට්‍රැක්ටර් රථ තුනකින් ගමන් කළ පිරිසෙන් මැද ධාවනය වූ ට්‍රැක්ටර් රථයේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් ගැටීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එම ට්‍රැක්ටර් රථයේ සහ එහි ට්‍රේලරයේ පුද්ගලයින් 10 දෙනෙකු ගමන් කර ඇති අතර, කුඹුක්කන 14 වන සැතපුම් කණුව ආසන්නයේ පිහිටි පාලම මතදී සියඹලාණ්ඩුව දෙසට ධාවනය වූ ටිපර් රථය මෙලෙස ගැටී ඇත.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් අටදෙනෙකු වහාම මොණරාගල මහා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් අතර, ඉන් පස්දෙනෙකු රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුරුදු 21, 26, 31, 55 සහ 56 යන වයස්වල පසුවන දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, තුවාල ලැබූ අනෙක් තිදෙනා මේ වන විට මොණරාගල රෝහලේ නේවාසිකව වැඩිදුර ප්‍රතිකාර ලබති.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු මෙන්ම ට්‍රැක්ටර් රථයේ රියැදුරු ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
No comments:
Post a Comment