දොරේ අප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට යාම නිසා දේශපාලන පක්ෂ දෙකක් අතර මත ගැටුමක් - Lanka News Click 24x7

දොරේ අප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට යාම නිසා දේශපාලන පක්ෂ දෙකක් අතර මත ගැටුමක්

Share This
යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට ටෙලෝ සංවිධානය කරණ ලද ඉල්ලීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් හා ටෙලෝ සංවිධානයේ දේශපාලනඥයින් අතර විශාල මත ගැටුමක් හටගෙන තිබේ.

යාපනය මහ නගර සභාවේ සැසි වාරය පැවති අවස්ථාවේදී නගර සභාව නියෝජනය කරණ ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මේ යෝජනාව  සභාවට ඉදිරිපත් කොට තිබේ. ටෙලෝ දේශපාලනඥයින් කියා සිටින්නේ වර්තමාන තත්ත්වයට අනුව එම ක්‍රීඩාංගණයට දොරේ අප්පා යන නාමය නොගැලපෙන බවයි.

ටෙලෝ දේශපාලනඥයින් කියා සිටින්නේ යාපනයේ උන්නතියට හා ක්‍රීඩා කටයුතු දියුණු කිරීමට වෙහෙස මහන්සි වූ විශාල පිරිසක් සිටි බැවින්  දොරේ අප්පා යන එක් නමක් භාවිත කිරීම අසාධාරණ බවයි. මේ නිසා එම ක්‍රීඩාංගණය යාපනය පොදු  ක්‍රීඩාංගණය වශයෙන් නම් කිරීම වඩා උචිත බව ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරු විසින් යෝජනා කොට තිබේ.

මේ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නාගරික මන්ත්‍රීවරු ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරුන්ට බැන වදින්නට පටන් ගැනීම නිසා සභාව තුළ විශාල ගාලගෝට්ටියක් ඇති වී තිබේ. කෙසේ වෙතත් මේ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ඡාවක් පැවැත්විය යුතු බවත් ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් යම් තීරණයකට පැමිණිය යුතු බවත් යාපනය නගරාධිපති ආනෝල්ඩ් එමානුවල් මහතා ප්‍රකාශ කොට තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන්  ටෙලෝ සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය අතර  විශාල මත ගැටුමක් ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් ටෙලෝ සංවිධානයේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තම සංවිධානයේ නාගරික මන්ත්‍රීවරු එවැනි යෝජනාවක් ඉදිරිපත්කරණ ලද්දේ දොරේ අප්පා මහතාට කරණ අගෞරවයක් වශයෙන් නොව එම ක්‍රීඩාංගණය පොදු ක්‍රීඩාංගණයක් බවට පත්විය යුතු නිසා බවයි.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Pages