"මීට පස්සේ රටට බාන්නේ ප්ලේන් නෙවෙයි ඩොලර්."-රාජ්‍ය ඇමැති ඞී. වී. චානක - Lanka News Click 24x7

"මීට පස්සේ රටට බාන්නේ ප්ලේන් නෙවෙයි ඩොලර්."-රාජ්‍ය ඇමැති ඞී. වී. චානක

Share This

තරුණ මන්තී‍්‍රවරුන්ට ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් අන් කවරදාටත් වඩා ලබාදීම ඇතැමුන් ප‍්‍රශ්න කරද්්දී ඒ පිළිබඳව මෙන්ම තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳ විමසීම සඳහා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ නව රජයේ තරුණ රාජ්‍ය ඇමැතිවරයකු වන ඞී. වී. චානක මහතා සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් කර ගත්තෙමු.පහතින් පෙළ ගැසෙන්නේ ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඞී. වී. චානක මහතා සමග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය - වත්මන් ආණ්ඩුව තුළ ඔබ තරුණම රාජ්‍ය ඇමැතිවරයෙක්. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරය ඔබ වැනි තරුණ දේශපාලකයකුට බර වැඩි නැද්ද?

පිළිතුර - නැහැ... මෙය ලොකු වගකීමක් තමයි. නමුත් එය දරාගන්න බැරි බරක් නෙමෙයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අපිව විශ්වාස කරල තමයි මෙවැනි වගකීමක් භාරදී තියෙන්නේ. මේ විශාල වගකීමක් භාරදීමේ විශ්වාසය ඒකාන්තයෙන්ම අප ඉටු කරනවා. ඇත්තටම බර පිළිබඳව තීරණය කරන්න වෙන්නේ අපගේ ඉදිරි වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන්නේ කෙසේද යන්න බලලයි. තරුණ මන්තී‍්‍රවරුන්ගෙන් බලාපොරොත්තු වෙන වගකීම අපි එලෙසම ඉටු කරනවා.

ප‍්‍රශ්නය - ඇත්තටම මම ඔබතුමාගෙන් බර පිළිබඳ ප‍්‍රශ්නය යොමු කළේ ඇතැම් පාර්ශ්වයන් ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් ලබාදීම සම්බන්ධයෙන් රජයට චෝදනා කරන නිසයි. ජ්‍යෙෂ්ඨයන් හලා දමා නවකයන්ට ලබාදී ඇති වැඩි ඉඩකඩ ඇතැමුන් ප‍්‍රශ්න කරනවා.

පිළිතුර - ඇත්තටම ජනතා තීන්දුව තමයි මේ තත්ත්වයන් ඇති කිරීමට පසුබිම සකසා තිබෙන්නේ. මට මනාප එක්ලක්‍ෂ විසිඅට දහසකට වැඩි ඡන්ද ජනතාව ලබාදී තිබෙනවා. ජනතාව අප කෙරෙහි විශ්වාස කර තිබෙනවා. එම විශ්වාසය සහ අපගේ හැකියාව දෙස බලා මෙම තීරණ ගෙන ඇති බවයි, අපගේ විශ්වාසය. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා උගතුන්ට තැන ලබාදෙන නායකයන්. මම උපාධිධාරියෙක්. මට ඉදිකිරීම් කළමනාකරණය සහ නිර්මාණය පිළිබඳ බීඑස්සී උපාධියක් තිබෙනවා. ඒ වගේම මේ වනවිට මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයේ හදාරනවා. මෙම අධ්‍යාපන සුදුසුකම් සහ පසුගිය වසර පහ තුළ පාර්ලිමේන්තුව තුළ අපගේ කාර්යභාරයත් ජනතාව ලබාදී ඇති ඡන්දයත් බලලා තමයි මෙම වගකීම් භාරදී තිබෙන්නේ. ජනාධිපතිතුමා භාරදුන් වගකීම අප ඉටු කරනවා.

ප‍්‍රශ්නය - මෙවර ඇමැතිකම් ලබාදීමේදී තරුණ මන්තී‍්‍රවරු රැසකට අවස්ථා හිමිව තිබෙනවා. මෙය මීට පෙර දකින්නට තිබූ තත්ත්වයක් නෙමෙයි, ආණ්ඩුව තරුණ දේශපාලනඥයන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කරනවාද?

පිළිතුර - ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ජ්‍යෙෂ්ඨයන් වගේම තරුණයන්ට අවස්ථා ලබාදී හොඳ සංකලනයක් කර තිබෙනවා. අද ලෝකයත් තරුණ හැකියාවට වැඩි අවස්ථාව ලබාදෙමින් කටයුතු කරන්නේ. ඇත්තටම අපි තරුණයන්ට අවස්ථාව දෙන්න පහු වුණා වැඩියි කියලයි මම හිතන්නේ. මේ, මේ රට හදන්න තිබෙන අවසන් අවස්ථාවයි. ඒ නිසා පරිණත හා තරුණ අය එක්කර ගනිමින් රට ගොඩගැනීමට රජය සැලසුම් කර තිබෙන්නේ. මෙය අත්දැකීම් සහ වේගය සංකලනය කරන අවස්ථාවක්.

ප‍්‍රශ්නය - ඔබතුමාට අනුව එය අත්දැකීම් සහ වේගය සංකලනය කිරීමක් වුවත් ඇතැමුන් චෝදනා කරන්නේ නාමල් රාජපක්‍ෂ මහතාට ඇති හිතවත්කම් මත තරුණ මන්තී‍්‍රී‍්‍රවරුන්ට ඇමැතිකම් හිමිවූ බවයි.

පිළිතුර - නාමල් රාජපක්‍ෂ ඇමැතිතුමා සමග අපගේ සියලූ තරුණ මන්තී‍්‍රවරු හිතවත් තමයි. නමුත් ඒ හිතවත්කම් ඇමැතිකම් ලබාදීම කිියන කාරණයේදී කිසි ලෙසකින්වත් සැලකිල්ලට ගැනුණු සාධකයක් නොවෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ සිටි සියලූ දෙනාට තනතුරු ලබාදී තිබෙනවා. ඒ සියලූ දෙනා නාමල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ වගේම මහින්ද රාජපක්‍ෂ මහතා යන මහත්වරු තුන්දෙනා සමගම හිතවත්කමින් සිටියා. අන්තිම කාලේ එතුමන්ලාට බොරු චෝදනා දමා හිරේ දාන්න යහපාලන රජය කටයුතු කරද්දි එතුමන්ලා සමග සිටියේ මේ කණ්ඩායමයි. ජනතා විරෝධී ව්‍යවස්ථා ගෙන එද්දී ජාතික සම්පත් විකුණද්දී සිටියේ මේ කණ්ඩායමයි. එදා සටන් කරන්න, හිරේ යන්න සිටි කණ්ඩායමයි අද පත්වෙලා තියෙන්නේ. බලන්න අද මා වෙත ගුවන්තොටුපළ භාරදෙන කොට කලින් ගුවන්තොටුපළවල් වෙනුවෙන් හිරේ හිටි කෙනෙක්. අප යුතුකම ඉටු කළ කණ්ඩායමක්.

ප‍්‍රශ්නය - වත්මන් රජයට තුනෙන් දෙකක බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තිබෙනවා. වැඩි බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අහිතකර යැයි ඇතැමුන් කියන කාරණයක්. තුනෙන් දෙකේ බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අහිතකර ලෙස බල නොපාවි යැයි ඔබට දිය හැකි සහතිකය කුමක්ද?

පිළිතුර - තුනෙන් දෙකක බලයක් අවභාවිත කරාවි යැයි ජනතාව සිතුවේ නම් ඔවුන් අපට ඒ බලය ලබාදෙන්නේ නැහැ. මෙය ඉබේ ලැබුණු තුනෙන් දෙකක බලයක් නෙමෙයි. අපි ජනතාවගෙන් එම බලය ඉල්ලා සිටියා. රටේ ජනතාවගෙන් තුනෙන් දෙකක් අපි බලය අවභාවිත නොකරන බවට දැනටමත් විශ්වාස කරනවා.

බලය අවභාවිත කරනවා වෙනුවට ජනතා හිතසුව පිණිස ජනතාවට වැඩ කරන තැනකට බලය ගෙන යන බව අපි සමස්ත ජනතාවට ඔප්පු කර පෙන්වනවා.

ප‍්‍රශ්නය - ජනතාව බලය ඉහළින්ම ලබාදී තිබෙනවා. දැන් ජනතා අපේක්‍ෂා ඉටු නොකර කර අරින්න ආණ්ඩුවට කිසිසේත් නොහැකියි.

පිළිතුර - අප හමුවේ අභියෝග ගණනාවක් තිබෙනවා. ඒ කිනම් අභියෝග ඇතත් ජනතා අපේක්‍ෂා මල්පල ගන්වන්න අප කටයුතු කරනවා. මේ අමාත්‍යාංශ භාරදීමේදී පවා තමන්ට සෘජුව වගකීම් පවරා තිබෙන්නේ ජනතා අපේක්‍ෂාවන් ඉටු කිරීමටයි. අපට වගකීම් පැහැර යෑමේ හැකියාවක් නැහැ. ජනතාව බලාපොරොත්තු වූ වෙනස අපට කරන්න පුළුවන්.

ප‍්‍රශ්නය - ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට රජය ගමන් කරනවා. නමුත් විපක්‍ෂය කියන්නේ පවුල් බලය වැඩි කර ගන්න එය කරන බවයි.

පිළිතුර - වැරදියි. පසුගිය ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළේ රට ගැන සිතා නෙමෙයි. ඔවුන්ගේ එකම අභිප‍්‍රාය වුණේ රාජපක්‍ෂවරුන් දඩයම් කිරීම පමණයි. 19 ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා ස්ථාපිත කළා යැයි කීවත් පොලිස් කොමිසම ස්ථාපිත කළ පසු පොලිස්පති කිව්වේ නීතිය නවන්න දන්න බවයි. මැතිවරණ කොමිසම ස්ථාපිත කළත් එදා සිට ඒ කොමිසම මැතිවරණ පැවැත්වූයේ නැහැ. 19 සංශෝධනය හරහා රටට සඳහන් කළ වෙනස සිදු වුණේ නැහැ. 19 ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු හදාගෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනවා. ඉන් පසු කාලයට, රටට ඔබින ව්‍යවස්ථාවක් අපි ඉදිරියේදී ගේනවා.

ඕන කෙනකුට චෝදනා කරන්න පුළුවන්. තව මාසයකින් පමණ ව්‍යවස්ථාව එළියට පැමිණි පසු ව්‍යවස්ථාවේ අරමුණ කුමක්ද යන්න ජනතාවට බලා ගන්න පුළුවන්. ජනතාව බලාපොරොත්තු වූ වෙනස ව්‍යවස්ථාව හරහා අප සිදුකරනවා.

ප‍්‍රශ්නය - හොඳයි... අපි ඒ කාරණාවලින් මිදී ඔබතුමාගේ විෂය පිළිබඳව කතා කරමු. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ඔබගේ ඉදිරි සැලසුම් කෙසේද?

පිළිතුර - මම මෙම විෂයට අලූත්. මා මෙහි පළමු මාසය, දෙක විෂය පිළිබඳ හදාරන්න බලාපොරොත්තු වෙනවා. මට ලබාදී ඇති විෂය මෙරට ආර්ථිකයට විශාල බලපෑම් කරන්න පුළුවන් විෂයක්. ඒ වගේම රුපියලේ අගයට විශාල බලපෑමක් කළ හැකි විෂයක්. නිසි ලෙස හැදෑරීමෙන් අනතුරුව ඉදිරි සැලසුම් සකස් කරනවා.

ප‍්‍රශ්නය - ඔබගේ විෂයට අපනයන කලාප සංවර්ධනයත් ඇතුළත්. විදෙස් ආයෝජකයන්ට අප රටේ ආයෝජනයන් සඳහා පිවිසීමට සුදුසු වටපිටාවක් බලධාරීන් සකස් නොකරන බවට දිගු කාලයක් තිස්සේ පවතින චෝදනාවක්. මෙය වෙනස් කරන්න ඔබට හැකි වෙයිද?

පිළිතුර - ඇත්තටම මෙම තත්ත්වය අපි වහා වෙනස් කළ යුතුයි. ආයෝජකයන්ට ආයෝජනය කරන්න තැනක් නැතිවීම මෙරට තිබෙන ප‍්‍රධාන අඩුපාඩුවක්. ආයෝජනයක් කරන්න ගිය පසු ඇතැම් විට ඉඩම ලබාගන්න වසරක් දෙකක් යනවා. මෙය වෙනස් කිරීමට තමයි, ඒ සම්බන්ධව වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙන්නේ. මෙහි පැමිණෙන ආයෝජකයකුට ආයෝජනය කිරීමට සුදුසු පරිසරයක් අපි ඉදිරියේදී නිර්මාණය කර තබනවා. ඇත්තටම විෂයානුකූලව ගත්තත් විද්‍යානුකූලව ගත්තත් එය මම ඉගෙන ගත් දෙයයි. මගේ උපාධියත් එයයි.

ප‍්‍රශ්නය - කොරෝනා වසංගතය නිසා වැඩිපුරම අභියෝගයකට ලක්වූ විෂයක් ලැබීම අභියෝගයක් නොවේද?

පිළිතුර - අභියෝගයක් නම් තමයි. නමුත් ඒ අභියෝගයට අප හොඳින් මුහුණ දෙනවා. කොරෝනා සමග ගමනක් යන්න පුළුවන් විදියට අප කටයුතු කළ යුතුයි. කොරෝනාවලින් තොර ගුවන්තොටුපළවල් පිළිබඳ අද ලෝකයම කතා වෙනවා. බය නැතිව එයාර්පෝට් එකකට යා හැකි තත්ත්වයක් ගැන කතා වෙනවා. ආරක්‍ෂිතව ගුවන්තොටුපළෙන් යාහැකි පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් අප කැපවී කටයුතු කරනවා.

ප‍්‍රශ්නය - කොරෝනා නිසා ගුවන්තොටුපළවල් යම් මට්ටමකින් වසා තැබීම එහි අඩුපාඩු සකසා ගන්න හොඳ අවස්ථාවක් වෙලා නොවේද?

පිළිතුර - ඔව්.. ඒ අවස්ථාව අප ප‍්‍රයෝජනයට ගෙන තිබෙනවා. ඒ අනුව කටුනායක අඩුපාඩු රැසක් අප සකසමින් තිබෙනවා. දැනට ඇති ටර්මිනල් එකේ අඩුපාඩු අපි වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම දෙවැනි පර්යන්ත වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. කටුනායක මගීන් මිලියන හයක ධාරිතාවක් ඇති ගුවන්තොටුපළක්. නමුත් මිලියන දොළහක් ගිය වසරේදීත් එහි පැමිණියා. මේ නිසා තවගුවන් පරියන්ත අංගන දෙකක් සකසා ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් ගණන වැඩි දියුණු කරන්නට කටයුතු කරනවා. මේ වන විට අපිට නවතා තැබීමට හැකි වන්නේ එහි ගුවන් යානා 13 ක් පමණයි. තව මාස දෙකක් යනකොට ගුවන් යානා විසි අටක් නවතා තැබීමට අපට හැකිවෙනවා.

මේ මම සඳහන් කළ දෙවැනි පර්යන්තය ගොඩ නැඟීමේ කටයුතු මීට වසර දෙකකට පමණ පෙර අවසන් කිරීමට නියමිතව තිබුණේ. මෙය ගොඩනැඟීම සඳහා අප ණය ආධාර ලබාගෙන තිබුණේ 2012 සහ 2014 යන වර්ෂවලදීයි. නමුත් යහපාලන රජය එහි කටයුතු අවසන් කරනවා තබා ඉදිකිරීම් කටයුතු හෝ ආරම්භ කර නැහැ. දැන් අපගේ රජය එහි වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. යහපාලන රජය සිදු කර තිබුණේ පොහොට්ටුවේ හැඩය තිබෙනවා යැයි කියා එහි ස්වරූපය වෙනස් කිරීමට මිලියන හයසියයක් වියදම් කිරීම පමණයි.

මේ කල්මැරීම තුළින් රටට රුපියල් බිලියන ගණනක පාඩුවක් වෙලා. ඒ අඳුරු අතීතයට සාප කරනවා වෙනුවට අපි මෙහි කටයුතු වහ වහා සකසන්න කටයුතු කරමින් සිටිනවා. මේ සමාගම් සමග අප සාකච්ඡා කර සැප්තැම්බර් තුන්වැනිදා වනවිට දෙවැනි පර්යන්තයේ වැඩ ආරම්භ කළ යුතු බව දන්වා තිබෙනවා. එසේම ඔක්තෝබර් 31 වැනිදා වනවිට ගුවන් යානා 28 ක් ගාල් කිරීමේ කටයුතු අවසන් කළ යුතු බව දැනුම් දී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය වසර තුනක් තුළ නිම කිරීමට නියමිතයි.

ප‍්‍රශ්නය - යහපාලන රජය මත්තල ගුවන්තොටුපළ තුළ වී ගබඩා කිරීම බොහෝ කතාබහට ලක්වූ සිදුවීමක් වුණා. ඒ පිළිබඳ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්...

පිළිතුර - ඔව්. ඒ පිළිබඳ පරීක්‍ෂා කරන්න පරීක්‍ෂණ කමිටුවක් පත්කර තිබෙනවා. මේ විනාශය කළ පුද්ගලයන් කවුරුන්ද? ඊට

වගකිවයුත්තන් කවුරුන්ද සිදුව ඇති පාඩුව කුමක්ද? යන්න එමගින් පැහැදිලි වේවි. මෙහි වැරදිකරුවන්ට නීතිය මගින් දඬුවම් කරන්න අප කටයුතු කරනවා. ඒ තුළින් මත්තල ගුවන්තොටුපළට සාධාරණයක් කරන්න අපට හැකිවේවි. ඇත්තටම අපි ඉදිරියේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට නොදෙවැනි ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලත් ගොඩනඟනවා. ඒ අනුව දකුණු ආසියාවේ හොඳම ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙක අප සතු වේවි.

ප‍්‍රශ්නය - අප රට සතුව ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් 5ක් තිබෙනවා. මෙම ගුවන්තොටුපළ ජාතික ආර්ථිකයට සවියක් කර

ගැනීමේ සැලසුම් කෙසේද?

පිළිතුර - ඇත්තටම අපි සතුව සැලසුම් ගණනාවක් තිබෙනවා. ඉහත සඳහන් කළ කටුනායක සහ මත්තල ජාත්‍යන්තර තලයට දියුණු කරන ගමන් රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා අනෙකුත් ගුවන් තොටුපළවල් දියුණු කරනවා. ඒ වගේම සංචාරකයන් ආකර්ෂණය කර ගන්න ‘ස්කයි ඩයිවින්’ වැනි කී‍්‍රඩා ගුවන්තොටුපළ වෙත රැගෙන එනවා. ඒ වගේම කෙටි සංචාර ගුවන් ගමන් වැඩි කරනවා. එසේම ගුවන් තරණ විශ්වවිද්‍යාලයක් (Aviation Campus) අප ආරම්භ කරනවා. මේ ඇතුළු සැලසුම් ගණනාවක් ඔස්සේ අප කටයුතු කරනවා.

ප‍්‍රශ්නය - අප රට සතු ගුවන් කලාපය අප මූල්‍ය උත්පාදනය සඳහා මේ වනතෙක් නිසි ලෙස භාවිත නොකරන බව සඳහන් වන කාරණයක්. එය ඉදිරියටත් එසේ වේවිද?

පිළිතුර- නැහැ. රටේ ජාතික ආර්ථිකය සවිබල ගන්වන්න. එය අප ඉදිරියේදී භාවිත කරනවා. යහපාලන රජය බලයට එන්න කලින් මත්තල ගුවන්තොටුපළේ ප‍්‍රධාන ආදායම වුණේ එයයි. මත්තල වී ගබඩා කළ නිසා අවාසනාවට එය පසුගිය වසර පහ තුළ නැතිව ගියා. කටුනායක ගුවන්තොටුපළේ පවතින රේඩාර් පද්ධතියටත් වඩා හොඳ රේඩාර් පද්ධතියක් තමයි මත්තල තිබුණේ. නමුත් ඒවා යහපාලන රජය විනාශ කළා. ඉදිරියේදී අප මේ සියල්ල වෙනස් කර රටට ආදායම් ලබාදෙනවා.
-Divaina Sunday.

No comments:

Post a Comment

Pages